බළන්ගොඩ ආශ්‍රිත ගම් වල නම් සැදුණු ආකාරය (1 කොටස)

බළන්ගොඩ
ඈත අතීතයේ, රාවණා යුගය තෙක් ඇදී යන ඉහත නාමයේ අර්ථයට “බළසෙනග“ බළකොටුව, බළ (හමුදා) වෙනස් කිරිම- මාරු කිරිම යන අදහස් දිය හැකිය. බළන්ගොඩ පෙදෙසේ රාවණා වාසයන් කිහිපයක් ලෙස “චන්ද්‍ර පර්වතය“ හෙවත් “සඳගිරිය“ (වැලිගෙපොළ අසල) ද “ඉන්ද්‍ර ගිරය“ හෙවත් “ඉඳුරුගිර“ (කූරගල කල්තොට මාර්ගයේ) ද, රාස්සහෙළ හෙවත් “රාස්සගල“ යන පෙදෙස් සැලකිය හැකියි. “රවුළාදොළ“
හා “නාහිටිය“ නම් දෙකේ ද “රාවණ“ නම හා “රාවණා“අන්වර්ථ නාමය සඳහන් වේ. ඕපනායක,හුණුවල  රාවණයන් විසු බවට ජනශ්‍රැතීන් ගොඩ නැඟී ඇත. (රාවණා පුරාවෘත්තය බළන්ගොඩට සම්බන්ධ වන අයුරු ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.)

හටංගල
සටන් හා සම්බන්ධ ගල්තලා පෙදෙසක් “හටංගල“ නමින් හැඳින්වෙන බව ජනප්‍රවාදයේ කියවේ.මේ සටහන් (ලකුණු කොටගත්) ගලක් වී ද, යන සැකයක් ද ඇති වේ.ඈත අතීතයේ රත්නපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර,දකුණු පෙදෙස් රාවණා රජු පිළිබඳ ජනප්‍රවාද වලට තෝතැන්නක්ව ඇති බැවින්,හටංගල (හටන්ගල) ද සටන් කැරුණු ඉසව්වක් හැඳින්වීමට යෙදුණු ග්‍රාමයක් බව සිතිය හැකිය.

රජවක
රාජවංකය,රජු විසු රහස් පෙදෙස හැඳින්වීමට යෙදුණේ “රජවක“ යි.මේ බළන්ගොඩ ආසන්නයේ පිහිටි බැවින් ඈත. අතීතයේ රජෙකුගේ පුවතකට සම්බන්ධ වේ.ප්‍රධාන නගරයේ රජ මාළිගය වුව ද රජුගේ ආරක්ෂාවට හෝ රාජ්‍ය විචාරීමේ කටයුතු වලදී වෙස්වළා ගෙන රජු හැසීරීමේදී හෝ වක්‍ර චරිතයකින් යුක්ත වීම එදා අතීතයේ පැවති රාජ්‍ය උපක්‍රමයකි.එ ලෙස යොදා ගත් පෙදෙස රජවක නමින් ව්‍යවහාරයට පත් වීය.

ඕලුගන්තොට
ඕලුගන්තොට ආසන්නයෙන් පෙනෙන දෙතනගල්ල කඳු යුගලය, රාම රාවණා ඓතිහාසික කථා පුවතේ එක් භූමිකාවකට ද හේතුපාදක වී ඇත.භාරතයේ විසු රාම කුමරුවාණන් සිය සොඳුරිය වන සීතාවන් හා අතීශය පෙමින් වෙලී කල් ගෙවු අතර මෙය නොරිස්සු එවක ලක්දිව රජකළ, රාවණා-සීතාවන් බලෙන් පැහැරගෙන සීතා සිරකර තැබු බවත්, ඓතිහාසික රාම රාවණ යුද්ධයෙන් පැරද පළායන විටදී දුනුශිල්පයේ අතිදක්ෂ රාම කුමරු දෙතනගල හිද සිය දණහිස් ගල්තලය මත තබා හීතලය වැරෙන් මුදාහැර-පැන දුවන රාවණාගේ ගෙල සිඳු බව ජනප්‍රවාදයේ සඳහන්ය.සිඳීගිය රාවණාගේ හිස හා කවන්දරූපය රාක්ෂ හෙලින් හෙවත් වර්තමානයේ රාස්සගලින් වලවේ නදියට වැටී ගඟදිය පහළට ගසාගෙන ගිය බවත් රාවණාගේ ඔලුව ගොඩට ගත් තොට “ඕලුගන්තොට” ලෙසත් ව්‍යවහාරයට ගෙන ඇතැයි බොහෝ දෙනාගේ මතයයි.

About sankalpa

www.ruulanka.com

Posted on නොවැම්බර් 25, 2013, in Uncategorized. Bookmark the permalink. ප්‍රතිචාර 3.

  1. ගොඩක් වැදගත් ලිපියක්…..තව ලියන්න….

  2. ඉතා වැදගත්,ගොඩාක් සතුටුයි අපේ ගම ගැන ජාත්‍යන්තරයට ගෙන ඒම සම්බන්ධයෙන්.සුභ පැතුම්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න