සුන්දර බේරුවත්ත ඇල්ල

බේරුවත්ත ඇල්ල රත්නපුර දිස්ත්‍රික්කයේ ඇති සුන්දර දිය ඇලි අතරින් වැඩි අවධානයකට ලක් නොවු සුන්දර දිය ඇල්ලකි. මෙය වෙත පිවිසීම සඳහා බලංගොඩ වේවැල්වත්ත මාර්ගයේ කි.මි.20 ක් පමණ ගිය විට හමුවන රැවුලදොල හන්දියෙන් හැරී මි.150 පමණ දුර පයින් යා යුතුය. වේවැල් දොලෙන් පෝෂණය වන බේරුවත්ත ඇල්ල උසින් අඩි 54කි. දෙනුවනට මනස්කාන්ත දසුන් මවන බේරුවත්ත ඇල්ලේ පහස විදීමට ඔබ එන්න.

සුන්දර දසුන් මවමින් ගලා යන පන්නිල් ඔය

බළන්ගොඩ, ‍‍පඹහින්න මංසන්ධියේ සිට කි.මි. 05 පමණ දුර ගමන්කල විට කුඹල්ගම  ගම්මානය හමුවේ. කෙත්වතු වලින් ගහන මේ සුන්දර කුඹල්ගම ගම්මානය හරහා පන්නිල් ඔය ගලා බසි. මෙම ඔයට පන්නිල් ඔය ලෙස නම් ලැබී ඇත්තේ පෙර රජකල මෙහි තිබු දැවැන්ත යකඩ ආයුධ කර්මාන්ත වලදී  ආයුධ  පණපොවා ඇත්තේ මෙම ඔයෙනි. එය සුන්දර දිය ඇලි 02 ක් මවමින් ගලා යන්නේ “දෙයියන්ගේ අමුණ” ආශ්‍රිතව මනරම් ජෛවවිද්‍යාත්මක පරිසර පද්ධතියක් සකස් කරමිනි. මේ සුන්දරත්වය විදින්න ඔබත් එක්වන්න..

බළන්ගොඩ පෙදෙසේ සැගවී ගිය පුරාවිද්‍යාත්මක තොරතුරු මතින් ගොඩ නැගී එන නව ලංකා ඉතිහාසය

බලංගොඩ, කල්තොට, දියවින්න, කිරිමළුගොල්ල වනය මැද පිහිටි ගල්ලෙන්වල තිබී සොයාගත් සෙල් ලිපිවලින් නව දේශීය අනන්‍යතාවයක් තහවුරු වන බව පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා පවසයි. එතුමා ඇතුලූ කණ්ඩායමක් විසින් සිදුකළ ගවේෂණයකින් අනතුරුව අනුරාධපුර යුගයට අයත් සෙල් ලිපි 12 ක් කිරිමළුගොල්ල වනය මැදින් සොයා ගැනුනි. මේ පිලිබද සියඵ තොරතුරු සහිතව පසුගියදා එතුමා කල දේශනයට ඔබට සවන් දිය හැකිය.

 

ජායාරූප සහ පටිගත කල දේශණය ඇතුඵ තොරතුරු ලබා දුන්නේ ලංකාදීප වාර්තාකරු චමින්ද දිසානායක මහතාය.

ඵෛතිහාසික කොට්ටඉඹුල්වල රජමහා විහාරය

1 2 3 4 5

විහාරස්ථානයේ ආරම්භය හා වර්ධනය

සබරගමු පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ මැතිවරණ කොට්ඨාශය තුළ බලංගොඩ නගරයේ සිට සැතපුම් 2 ක් පමණ කල්තොට මාර්ගයෙහි ගමන් කර එම ස්ථානයේ සිට සැතපුම් 6 ක් පමණ ගෙවා ගිය විට වැලිගෙපොළ මංසන්දිය හමුවේ. එතැන් සිට සැතපුම් 4 ක් පමණ හටන්ගල මාර්ගයෙහි ගිය තැන කොට්ටඉඹුල්වල රජ මහා විහාරය දැක ගත හැක.

අටකලන් කෝරලේ කදවෙල් පත්තුවේ කදු පර්වතයක් මත්තේ පිහිටා තිබෙන මෙම විහාරය ගල් ලෙනක් ලෙස පවතී. මෙම විහාරය සඳහා භාවිත පැරණි නාමය කිරි ඇල්ලේ ඤාණවිමල හිමියන් “රණගුථපොළී‍“ වශයෙන් හඳුනාගෙන ඇත. මේ නම ඇතිවීම පිළිබඳ පැහැදිලි අදහසක් නොමැති වුවත් ජනප්‍රවාදයට අනුව වලගම්භා රජුට යුද්ධ කටයුතු සඳහා ඔහුගේ ඇවැස්ස මාමා විසින් යුධ හමුදාවක් රැස් කර දුන් ප්‍රදේශය නිසා එම යුගයේ මේ නම ව්‍යවහාර වූ බව පැවසේ.

මින් පසුව පට බැදුණු නාමය ලෙස කොට්ටඉඹුල්වල සඳහන් කළ හැකිය. ශ්‍රී වික්‍රමරාජසිංහ රජතුමාගේ ශ්‍රී බු.ව. 2311 ( 1808) තඹ සන්නසේ කොට්ටඉඹුල්වල නම සඳහන් කර තිබේ. ජනප්‍රවාදයට අනුව කොට්ටඉඹුල්වල නම ඇති වීම පිළිබඳ අදහස් තුනක් පවතී.

වට්ඨගාමිණී අභය රජතුමා පැමිණෙන කාලය වන විට මෙම පූජා භූමියෙහි විශාල ලෙස වර්ධනය වී පැවතුනා වූ ඉතා අලංකාරමත් ප්‍රිය උපදවන්නා වූ කටු ඉඹුල් ගස් දැවැන්තයෙක් තිබූ බව පැවසේ. රජතුමා එය දැකීමෙන් පසු මෙම පූජා භූමිය අරභයා අලංකාර නමක් ලෙස සලකන කොට්ටඉඹුල්වල යන නාමය ව්‍යවහාර කරන්නට ගත් බව මතයකි.

දෙවනි ජනප්‍රවාදයට අනුව වලගම්බා රජු පැමිණ කලක් ගිය පසු මෙම ස්ථානයේ කටු ඉඹුල් කඳකින් බුදුන් වහන්සේගේ ශ්‍රී ශරීරය විදහා දැක්වීම පිණිස හිටි පිළිමයක් නෙලනු ලැබු බවත් එම පිළිමය නිසා මෙම විහාර භූමිය කොට්ටඉඹුල්වල වු බවත් සඳහන් වේ. දැනට මෙම පිළිමය මෙම ස්ථානයෙහි දැක ගැනීමට නොමැත.

තෙවැනි අදහස නම් කටු ඉඹුල් ශාක විශේෂය එම ප්‍රදේශය පුරාම තිබෙන බැවින් මෙම ප්‍රදේශය සඳහා කොට්ටඉඹුල්වල වූ බව පැවසේ. දැනටත් මෙම ශාඛ විශේෂය මෙම ප්‍රදේශයේ දැක ගැනීමට තිබේ.

කොට්ට ඉඹුල් කැළය යන අර්ථයෙන් එසේ නැතහොත් බහුලව වැඩෙන ප්‍රදේශය යන අර්ථයෙන් එම ගම් ප්‍රදේශය හැදින් වූ බවත් එම ගමෙහි වු විහාරය කොට්ටඉඹුල්වල විහාරය වු බවට සැලකිය හැකිය.ඉහලින් සඳහන් කළ අදහස් තුනෙන් අවසන් අදහස මෙම විහාරයේ නම සඳහා බලපාන්නට ඇතැයි කල්පනා කළ හැකිය.

මෙම ප්‍රදේශයේ ඓතිහාසිකත්වය පිළිබඳව සැලකීමේ දී ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ බලංගොඩ මානව සංස්කෘතිය තෙක් ඈතට දිවයන බවට පුරාවිද්‍යාත්මක සාදක හමුවී ඇත. බෙල්ලන් බැදි පැලැස්ස හා බලංගොඩ මානවයා අතර සම්බන්ධතාවයේ දී මෙම ප්‍රදේශය ආසන්නයේ පැවති නිසා මානව ජනාවාස පවතින්නට ඇත. මේ අනුව අනුරාධපුර යුගයේ මුල් කාලයේ ජනාවාස වී තිබු බවට සැක නැත.

එසේ වුවද රාජකීයයන් මෙම ප්‍රදේශයේ පාලන කටයුතු හෝ වෙනත් කාර්යයන් සඳහා මැදිහත් වීම පිළිබඳව ඓතිහාසික හෝ පුරා විද්‍යාත්මක සාධක නොමැත.

රුහුණු ප්‍රදේශයෙන් බෙල්ලන් බැදි පදලැස්ස හරහා කොට්ටඉඹුල්වල දක්වා ජන සංක්‍රමණයක් ඇති වන්නට ඇත. ඉන් අනතුරුව මේ ප්‍රදේශය ජනාවාස වන්නට ඇත. කොට්ටඉඹුල්වල මුලින්ම ආරණ්‍ය සේනාසනයක්ව පැවත තිබේ. මෙම ප්‍රදේශයේ මුලින්ම ආරණ්‍ය සේනාසනයක් බවට පත් කරනු ලැබුවේ වට්ඨගාමිණී අභය රජුගේ මාමා කෙනෙකු ලෙස සලකන අභය රාජ විසින් බව පැවසේ. මොහුගේ මුල් නාමය අභය රාජ නොවේ.මෙම ගුහාව අසල පිහිටි ගල්පාය නගරයට පිඬු පිණිස හැසිරෙන විදර්ශන භික්ෂූන්ගේ විවේකස්ථානයක් ලෙස පැවති බව ‘සබරගමුවේ පැරණි ලියකියවිලි‘ නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. ඒ අනුව අපට කිව හැකි වන්නේ අනුරාධපුර යුගයේ දී මෙම ස්ථානය ආරණ්‍ය භික්ෂුවගේ වාසස්ථානයක් සේම සංචාරක භික්ෂුන්ගේ විවේකස්ථානයක් පැවති බවයි.

වලගම්භා හෙවත් වට්ඨගාමිණී අභය රජු ( ක්‍රි.පු. 103 ) රාජ්‍යයට පත් විය. මොහු ඛල්ලාඨනාග රජුගේ සොහොයුරාය. සිය සොහොයුරු මරා රජ කම ලබා ගැනීම සඳහා උත්සහ කළ මහා රත්ථක මරණයට පත් කොට වලගම්භා රජ කමට පත් වූයේ කරදර සහිත යුතයකය. රාජාභිෂේකයෙන් මාස පහක් ගිය පසු තිස්ස නැමැති බමුණෙක් කැරැල්ලක් ආරම්භ කළහ. මේ සමගම ද්‍රවිඩ සෙනෙවියන් සත් දෙනෙක් හමුදා රැගෙන රට ආක්‍රමණය කළහ. මෙම සටනින් පරාජයට පත් වලගම්බා රජු පලා ගොස් සැගවී කැළයේ තැනින් තැන ඇවිදිමින් හමුදාව රැස් කරන්නට විය.

මෙහිදී කොට්ටඉඹුල්වල අසල තිබෙන ලෙන් දොර කදුවෙල ගල් ගුහා වල මෙන්ම කොට්ටඉඹුල්වල ද වලගම්බා කුමරු සඟවී සිටි බව ජනප්‍රවාදයයි. මෙසේ සිටින අතර විහාරාධිපතීන් වහන්සේගේ සහාය ඇතිව කොට්ටඉඹුල්වලින් යුද්ධ හමුදාවක් රැස් කරවා ගෙන එතනින් හම්බගමුවට ගොස් එහි කොටවෙහෙරේ විසූ තෙරුන් වහන්සේ ගේද සහයෝගයෙන් තවත් සේනාවක් ලබා ගෙන පිහිටි රට බලා යන අතර මගදී එකතු වූ සේනාවන්ද සහාය කොට ගෙන දමිළ සංහාරය කොට ත්‍රිසිංහලය එක්සේසත් කිරීමෙන් පසු සේනා සංවිධානය කිරීමෙහිලා ප්‍රථමයෙන්ම තමා හට උපකාර කළ කොට්ටඉඹුල්වල විහාරාධීපතීන් වහන්සේට අභයරාජ යන ගෞරව නාමය දී විහාර ගල මුදුනට නැග ශක්තිමත් පුරුෂයෙකු ලවා ලෝකඩ තම්මැට්ටමක් ගස්වා අවට ඇසෙන භූමි ප්‍රදේශය ශාසනාන්තර්දානය දක්වා විහාරය විරස්ථායි වනු වස් උන් වහන්සේට පිදූ බව පිළි ගැනේ.

නුවර යුගයේ දී කොට්ටඉඹුල්වල විහාර සඟ පරපුරට අයත් කොට්ටඉඹුල්වල අනොමදස්සී තෙරුන් වහන්සේ මෙහි පැරණි දාගැබ ප්‍රතිසංස්කරණය කොට ප්‍රකාරයක් බැන්දවීමත් රිදී 1285 ක් බර පැණින් ගනේගම අරමන්පල විහාරයේ දහතුන් රියන් දාගැබක් තැනවීමත් , එම විහාරයෙහිම ප්‍රතිමා වහන්සේලා තුන් නමගේ වැඩ නිමවා නේත්‍ර ප්‍රතිෂ්ඨාපනයත් කොට එහි පිං මහනුවර මහ වාසලට අනුමෝදන් කරවුහ. මේ අසා ප්‍රසන්න වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ තෙමේ ස්වකීය රාජ්‍යෝදයෙන් දස වැනි වර්ෂයේ ( ශ්‍රී.බු.ව. 1341 – ක්‍රි.ව. 1808 ) උදුවප් මස ශතවත් ලත් බදාදා මෙම විහාර ශාසනන්තර්ධානය දක්වා පවත්නා ශටියට ගොඩ මඩ අක්කර පහළොස් දහසක් පමණ හිමි වන සේ රජුගේ ශ්‍රී නාමය රනින් කෙටූ තඹ සන්නසක් පරිත්‍යාග කළහ. අට කොනේ මායිම් යොදා දී තිබෙන මේ සන්නසෙහිපුරාතන පටන් කොට්ටඉඹුල්වල අනෝමදස්සී උන්නාන්සේගේ වර්ග පරම්පරාවේ සාමනේර උපසම්පදා උන්වහන්සේලා විසින් මෙම විහාරයට පුද ඕලක්කන් (පූජා) පවත්වන ලද බවත් මෙම ස්ථවීරයන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍යය පරම්පරාවෙන් පැවත එන සංඝයාද මෙම විහාර දෙකේ වත් පිළිවෙත් කර එයින් ලැබෙන ප්‍රත්‍යයන් සිව්පසය සඳහා ප්‍රයෝජනයට ගත යුතු බැව් කොට්ටඉඹුල්වල තඹ සන්නසේ දක්වා ඇත.

ආරක්ෂාව සහිතව මෙහි තිබෙන වලගම්බා රජු කළ පටන් මේ දක්වා මේ විහාර සග පරපුර ගැන තොරතුරු සඳහන් පුස්කොළ සීට්ටුව ඉතා වැදගත් ලියවිල්ලකි. මෙහි සංඝ නාමාවලියෙහි සඳහන් පරිදි එහි සිටි විහාරාධිපතීන් වහන්සේලාගේ නම් මෙසේ දැක්වේ. මුලින්ම අභයරාජ, උභයකුල, පාරිශුද්ධ, දේවමිත්‍ර, ශීලවන්ත, මාන්නගුරු,සමනල, මතීසාගල, ශීලරක්ෂිත, බුද්ධදාස, ශීල, මහා ධර්ම ගුරු,අනුරද්ධ, ධමේශ්වර, සිද්ධාර්ත, පුංචි බණ්ඩාර, රත්නපාල, වේ. මෙහි ඇතැම් නාමයන් ගැන සලකන විට මෙම ලිපිය ලක්දිව අතීතයේ ‍‍ථෙරවාදී මහායාන නිකායන් බලපෑ අයුරු හා සීතාවක රාජසිංහයන්ගෙන් පසු කීර්ති ශ්‍රී රාජසිංහ රාජෝපාදයෙන් සවැන්න දක්වා භික්ෂු ශාසනය සිල්වත් තැනලාට පැවරී තිබූ අවධියෙහි තත්වයන් මැනවින් වටහා ගත හාකි කැඩපතක් බඳුය.

ඉහත කාලයෙන් පසු වර්ථමානය දක්වා කොට්ටඉඹුල්වල විහාරයෙහි කටයුතු කළ විහාරාධිපතීන් වහන්සේලා කීප දෙනෙක් වෙයි. ඔවුන් මෙසේය. තඹලගමුවේ රනපාල, තඹගමුවේ බුද්ධ රක්ඛිත, වර්ථමානයේ විහාරාධිපති ලෙස වැඩ සිටින්නේ තඹගමුවේ රෝහණ රතනපාල ස්වාමීන් වහන්සේය. එයට අමතරව නැදුම්ගමුව සුමනසාර හිමි වැඩ වාසය කරති. මෙයින් අපට පෙනී යන්නේ සංඝ පරපුර යම් කිසි සම්ප්‍රදායානුකූල ක්‍රමයක් ඔස්සේ පවත්වාගෙන එන බවකි.

හයවන පැරකුම්බා කළ පැපිලියානේ සුනේත්‍රා දේවී පිරිවෙනට සබඳතාවයක් තිබූ බව සඳහන් වේ. එහි සිටි මංගල තෙරුන්ට රජතුමා පැවරූ සබරගමු ලක්ෂමණ මහ (සමන්) දේවාලයේ පිරිත් මුරයට මෙම විහාරයේ සංඝයාද සහභාගි කර ගැනීමෙන් පෙනේ. මෙම රජ වරුන්ට අමතරව ශ්‍රී විජයරාජසිංහ හා ශ්‍රි වික්‍රමරාජසිංහ යන නරපතී හු මෙහි දියුණුව සඳහා ආධාර උපකාර කරන ලද බව සැලකේ.

කොට්ටඹුල්වල විහාරය යටතේ පාලනය වන විහාර සංඛ්‍යාවක් තිබේ. ඒවා කීහිපයක් මෙසේ සඳහන් කළ හැකිය. පැල්මඩුල්ලේ ගනේගම විහාරය, ගලපාත විහාරය, ලෙන්දොර, ඉහල ගලගම විහාරය, අලුත්නුවර දේවාලයේ පිරිත් නිලය, රත්නපුර සමන් දේවාලයේ පිරිත් නිලය, බොල්තුඹේ රජමහා විහාරයේ පිරිත් නිලය, අම්මඩුව දේවාලය මේ දේවාල වලින් කිහිපයකි. මේ ආකාරයෙන් බලන කළ කොට්ටඉඹුල්වල රජමහා විහාරය මූලස්ථානයක් වශයෙන් පැවති බව පෙනේ. මේ අනුව ඉතා ඉහල අන්දමින් හොඳ පාලනයක් පැවති ඉතා දියුණු විහාරයක් ලෙස තිබූ බව අපට වටහා ගත හැකි වේ.

මෙයට අමතරව කොට්ටඉඹුල්වල විහාරයෙහි ආගමික සාමාජික හා සංස්කෘතික කටයුතු රාශියක් සිදු කරන ලද බව පෙනේ. මහනුවර දළඳා මාලිගයේ දියවඩන නිලමේ තෝරා පත් කර ගන්නා ඡන්දයේ දී මෙම විහාරයට එක් ඡන්දයක් හිමි වේ. එසේම සබරගමුවේ සෑම විහාරයකම ඡන්දයක් මගින් කිසියම් නිලයක් තෝරා පත් කර ගැනීමේ දී ඡන්දයක් කොට්ටඉඹුල්වල විහාරයට හිමි වේ. ශ්‍රී පාද සමය ආරම්භ කිරීමට ප්‍රථමව පිරිත් කියනු ලැබේ. එම අවස්ථාවට කොට්ටඉඹුල්වල විහාරයෙන් සංඝයා වහන්සේ නමක් යා යුතුය. එම කටයුත්ත වෙනුවෙන් ශ්‍රී පාදාස්ථානයට අයත් ඉඩම් වලින් කොටසක් මෙම විහාරයට හිමි වේ.

පුරාණ කාලයේ ඇසල පෙරහැර පැවත තිබේ. එම පෙරහැර ඉතා උත්කර්ශවත් අන්දමින් පැවතුණ බව කිව හැකිය. මේ සඳහා අලි ඇතුන් විශාල සංඛ්‍යාවක් සහභාගී කරවා තිබේ. උඩරට හා පහතරට නැටුම් කණ්ඩායම් කිහිපයක් සහභාගී කරවා ගෙන ඇති අතර මේ පෙරහැර විහාරය වටා සංචාරය කර තිබේ. දින කිහිපයක් ඉතා අලංකාර ලෙස කඩ සල්පිල් වලින් හා විශාල ජන සහාභාගීත්වයකින් පැවත ඇත. එහෙත් මෙම පෙරහැර අවසන් වරට පවත්වා ඇත්තේ මෙයට ශත වර්ෂයකට පමණ පෙර බව පැවසේ.

මෙම විහාරයට ඉඩම් අක්කර 24 දාහකට පමණ ආදායම් තිබේ. මේවායින් ඉඩම් ප්‍රමාණයක් බද්දට දී ඇත. එමගින් විහාරයට අදායම් හිමිවේ. තවත් ඉඩම් ප්‍රමාණයක් රාජකාරී ක්‍රමයට පවරා දී තිබේ. මෙම ඉඩම් භුක්ති විදින ජනතාව විහාරයේ රාජකාරි කටයුතු කළ යුතු වුහ. පෙනුම යනුවෙන් දිනයක් වේ. එදාට මෙම පිරිස පැමිණ විහාරයේ කටයුතු කළ යුතුය. ඒවා නම් විහාරය පිරිසිදු කිරීම, අලුත්වැඩියා කිරීම, හුණු ගෑම, වහල සකස් කිරීම, අදී රාජකාරී වේ. මෙයට අමතරව හේවිසි ගැසීම , තම්මැට්ටම් කටයුතු, වලං සෑදීම, මුර කිරීම, ආදී කටයුතු වේ. සෑම පෝය දිනකම හේවිසි ගැසීම සිදු කෙරේ.

වෙසක්, පොසොන්, ඇසල පෝය දිනවල මිනිසුන් විශාල ප්‍රමාණයක් මේ විහාරය කරා පැමිණේ. මෙම විහාරයේ සෑම අවුරුද්දකම කඨින පිංකම ඉතා උසස් අන්දමින් සිදු කෙරේ. එහි දී ගම වටා කඨින චීවරය වඩම්මනු ලැබේ. (පොගුරුගම සතර පේරුවේ)

මෙම විහාරස්ථානය පුරා විද්‍යා දෙපාර්තුමේන්තුව යටතට ගෙන ඇති අතර දැනට විහාරය පුජා භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇත. මේ හැරුනු විට මෙහි දහම් පාසලක්, ග්‍රාම සංවර්ධන සමිතියක් පවත්වා ගෙන යයි. එසේම සමිති සමාගම් කිහිපයක් විහාරය තුල පැවැත්වේ. මේ ආදී ලෙස සමාජ සංවර්ධන කටයුතු රාශියක් විහාරය මගින් කර ගෙන යාම විහාරයේ දියුණුවටත් සංවර්ධනයටත් ඉතා වැදගත් බව කිව හැක.

ස්මාරක සාධක හැදින්වීම

විහාර ගෙය

ඉතා මනරම් කුඩා කදු ගැටයක් කොට්ටඉඹුල්වල පිහිටා තිබේ. මෙම කදු ගැටය වටා කුඹුරු යායෙන් හා වන ලැහැබෙන් වට වී පවතී. මෙම කදු ගැටය මුදුනට වන්නට ගල් ගුහාවක් පිහිටා ඇති අතර එය කොට්ටඉඹුල්වල විහාරය ලෙස හැඳින්වේ. අටකලන් කෝරලේ කඳවෙල් පත්තුවේ කඳු මත පිහිටා තිබෙන මේ පැරණි ගල් විහාරය වලගම්බා සමයට පෙර ආරම්භ කරන ලද්දක් බව පුරා විද්‍යා සාධක වලින් පැහැදිලි කළ හැකිය. මේ අනුව අපට පැහැදිලි වන්නේ ගල් විහාරය වලගම්බා රජුට පෙර සිට භාවිතයට ගැණුනු බවකි. මෙම ගල් විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතී. ඒ නිසා ගල් ගුහාවද මදක් විශාල බවක් ගනී. අනුරපුර පොලොන්නරු යුගයේ බිහි වූ සෑම ගල් ගුහාවකම කටාරමක් යොදනු ලැබේ. එය යෙදීමට හේතුව නම් වර්ෂා කාලයේ දී ගුහාව තුලට ජලය ඒම වැලැක්වීමයි. කටාරම නිසා උඩින් වැටෙන ජලය කටාරම දිගේ පැත්තකට ගලා යයි. මෙය එක්තරා බුද්ධි වර්ධනයක් ලෙස පෙන්වා දිය හැකිය. එයට හේතුව නම් මේ ගැන සිතා බලා අවශ්‍ය පියවර ගෙන තිබීමයි.

කොට්ටඉඹුල්වල විහාරයේ ද කටාරමක් කපා ඇත. එම නිසා මෙහි පැරණි බවක් ඇතැයි සිතිය හැකිය. වලගම්බා රජතුමා විසින් කරවන ලද විහාරය ලෙසට දැනට අනුමාන කරනු ලබන කුඩා විහාරයත් ප්‍රධාන විහාර ගෙයි ඔත් පිළිමයේ සිරසට ආසන්නයේ පිහිටා ඇත. මෙය මහල් දෙකකින් යුක්ත වන අතර පහත මාලයට වඩා ඉහල මාලය කුඩාවට නිර්මාණය කර තිබේ. මෙම කුටියේ දිග පළල අඩි 14 x 7.5 වේ. මෙහි ඉදිරිපස හෙවත් උතුරු පසට වන්නට බිත්තියේ මැද ආරුක්කු හැඩයේ දොරක් යොදා ඇති අතර එය උසින් අඩි 6 ක් ද පළල අඩි 2 අඟල් 4 පමණ වන අතර බිත්තියේ ඝණකම අඟල් 18 ක් වේ. මෙම පළමු මහල අඩි 8 ක් උස වන අතර බිත්ති තනිකරම මැටි බදාමයෙන් සාදා ඇති බව කිව හැකිය.

මෙහි දෙවන මහලේහි දිග පළල අඩි 13 x 6.5 වන අතර අඩි 5ක් උස වේ. මෙම කුටියේත් උතුරු පසට වන්නට ආරුක්කු හැඩයේ කවුළුවක් ඇති අතර කාමර දෙකකින් එකක වත් උළුඅහු යොදා නැත.

මෙලෙස කුඩාවට ඉදි කළ විහාර ගෙය පසු කාලය වන විට ඉතා දියුණු තත්වයට පත් වී තිබේ. එය රජවරුන් කිහිප දෙනෙක් යටතේ සංවර්ධනයට පත් වූ ආකාරය පළමු පරිච්ජේදයේ දී පෙන්වා දී ඇති අතර එය වර්ථමානයේ දක්නට ඇති තත්වය මින් ඉදිරියට සාකච්ඡා කරමි. විහාර ගෙය ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදිය හැකිය.
* ඇතුල් ගෘහය
* අන්තරාලය
* මණ්ඩපය
* ඇතුල් ගෘහයට දකුණු පසින් ඇති කුටිය
* ඇතුල් ගෘහයට වම් පසින් ඇති කුටිය

ඇතුළු ගෘහය

ඇතුළු ගෘහය ඉතා විශාලව නිර්මාණය කර ඇති අතර බිත්ති ඉතා ඝනකමින් යුක්ත වේ. බිත්තියක ඝනකම අගල් 30 පමණ වේ. ගල් කුහරයක් තුල බිත්ති තුනකින් නිර්මාණය කර ඇත. මෙහි දිග අඩි 89 අඟල් 3 ක් වන අතර පළල අඩි 17 අඟල් 6ක් වේ. පිළිම ගෙයින් උතුරුපස බිත්තියෙන් ඇතුළු වීම සඳහා දොර තුනක් නිර්මාණය කර තිබේ. මෙයට යොදා ඇති උළුඅහු අඩි 1×1 ඝනකමින් යුක්තව නිර්මාණය කර තිබෙන අතර මුදුනත ආරුක්කු තුනකින් යුක්තව ඉතා අලංකාර ආකාරයෙන් සාදා තිබෙණු දක්නට ලැබේ. බිත්ති නිර්මාණයේ දී කුඩා ගල් කැට යොදා ගෙන මැටි බදාමයෙන් බිත්ති සකස් කර ගත් ආකාරය පෙනේ. කපරාලුව සඳහා වැලි මැටි යොදා ඒ මත හුණු මැද තිබෙණු දක්නට ලැබෙන අතර පොළවට මෑතදී පිඟන් ගඩොල් යොදා තිබේ.

අන්තරාලය

අන්තරාලය වූ කලී ඇතුළු ගර්භයෙන් උතුරු දිශාවට වන්නට සාදා ඇති අතර එය සෘජුකෝණාශ්‍ර හැඩයෙන් යුක්ත වේ. එහි දිග හා පළල අඩි 89 3” x 7′ 6” වේ. මෙම කොටස ඉතාමත් අලංකාර ආකාරයෙන් සාදා තිබේ. අන්තරාලයේ උතුරු නැගෙනහිර හා බටහිර යන බිත්ති වෙනුවට අඩි 3ක් පළල හා අඟල් 21 ඝනකම ඇති කුළුණු 12 ක් උස අඩි 5 වන අකාරයට සාදා එම උස සට්ටමේ සිට ආරුක්කු ආකාරයට එම සියළුම ස්ථාන වලින් ඇතුළු විය හැකි ආකාරයට නිමවා තිබේ. මෙම කුළුණු අලංකාර ආකාරයට නිර්මාණය කර තිබෙණු දක්නට ලැබේ. අන්තරායෙහි අඩි 10ක් පමණ උසින් ලී බාල්ක යොදා ඒ මත ලෑලි වලින් සිවිලිම සකස් කර තිබේ. අන්තරාලයෙහි දකුණු බිත්තියේ උළුඅස්සට උඩින් ක්‍රි. ව. 1808 වර්ෂය යොදා ඇති අතර එය ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් මෙම විහාරය අවසන් වරට ප්‍රතිසංස්කරණය කළ වර්ෂය වේ. පොළව සඳහා සිමෙන්ති බදාම යොදා සිමෙන්ති මැද ඇති ආකාරය දැක ගත හැක.

මණ්ඩපය

මණ්ඩපය ඉතා විශාලව නිර්මාණය කර තිබෙණු දක්නට ලැබේ. මණ්ඩපය සඳහා අන්තරාලයෙන් උතුරු පස නැගෙනහිර හා බටහිර යන පැති තුනම අයත් වේ. අන්තරාලයේ උතුරු පස කොටසේ දිග පළල අඩි 89.3” x 8′ වන අතර නැගෙනහිර පස කොටස දිග පළල අඩි 16′.6” x 12′ වේ. බටහිර පස කොටස දිග පළල අඩි 16′.6” x 34′.9” ලෙස ගණන් ගත හැකි වේ. මේ කොටස නැගෙනහිර හා බටහිර බිත්ති වලින් නිර්මිත වන අතර උතුරු පස එක ළඟ නිමවන ලග රවුම් කුළුණු දෙකකින් යුක්තව කණු ජෝඩු දහයකින් සකස් කර ඒ මත යට ලීය තබා තිබේ. විහාරය තුළට ඇතුළු වීම සඳහා ඉදිරි පසින් අඩි 10 අඟල් 6ක් පමන වන දොරටු දෙකක් ඇති අතර අනිත් හිඩැස් ලැටිස් යොදා අලංකාර කර තිබෙණු දක්නට ලැබේ. දොරටු තුනට ළඟා වීම සඳහා පඩි පෙල් පේලි දෙකක් නිර්මාණය කර ඇති අතර අන්තරාලය හා මණ්ඩපය යන කොටස් දෙක සඳහා උළු යොදා දැවයෙන් නිර්මාණය කර තනි පලයේ වහලක් නිර්මාණය කර ඇත.

ඇතුල් ගෘහයට දකුණු පසින් කුටිය

මෙම කුටිය දිග අඩි 12 ක් වන අතර බටහිර පස බිත්තියේ පළල අඩි 17 අඟල් 6ක් වන අතරම නැගෙනහිර පස පළල අඩි 12 ක් පමණ වේ. මෙයට හේතුව වන්නේ ගල නැගෙනහිරට නැමී ඇති නිසා වේ.
මෙම කුටියට ඇතුළු වීම සඳහා දොරවල් දෙකක් වෙයි. එක් දොරක් උතුරු බිත්තියෙන් වන අතර බටහිර බිත්තියේ ගර්භ ගෘහයෙන් ඇතුළු විය හැකිය.

ඇතුල් ගෘහයට වම් පසින් ඇති කුටිය

මෙම කුටියේ විශේෂ වැදගත් කමක් දැක ගත හැකිය. එයට හේතුව ඉතා අලංකාර උළුඅස්සක් ඇති නිසාය. කුටිය තුළට ඇතුළු වීම සඳහා උතුරු දෙසින් දොරටු රැසක් වේ. දකුණු පස ඇති ‍දොරටුව ඝණකම ඇති ලෑලි උළුඅස්සක් වන අතර වම් පස ඇති උළුඅස්ස ගල් වලින් නිමවා තිබේ. මෙය අඩි 8ක් පමණ උස් වන අතර උළුඅස්සේ ඝණකම අඟල් 18 ක් පමණ වේ. උළුඅස්ස යටටම වන්නට වාමණ රූප දෙකක් ඇති අතර මුදුනේ හරි මැදින් මකර හිසක් පමණක් නෙලා ඇත. මේ හැරුණු කොට බොරදම් යොදා පලාපෙති මොස්තරයෙන් අලංකාර කර තිබේ. මෙම කුටියේ දිග පළල අඩි 34.9” x 15′ වේ.

බටහිර බෝධිය

බෝධිය විහාරයෙන් බටහිර දිසාවේ විහාරයට ඉතාම ආසන්නයේ පිහිටා ඇති අතර එය වටා බැම්මක් බැඳ තිබේ. මෙහි දිග පළල අඩි 21′ .8” x 21′.6” වන අතර බැම්මේ උස අඟල් 44 ක් වේ. බැම්ම ගඩොල් වලින් බැඳ සිමෙන්ති වලින් කපරාලු කර තිබෙන අතර එය මුදුනේ මුළු හතරින් ඉහලට නැගුනු අඟල් 35 ක් පමණ උස වන කණු හතරක් නිර්මිතය. එක් කණුවක පහළ කොටස අඟල් 6 x 6 ක් වන අතර ඉහළ කොටස අඟල් 5 x 5 පමණ වේ. මේ අනුව කණුවක් ඉහළට යන විට කුඩා වන ආකාරයට නිර්මාණය කර තිබේ. උතුරු පස බැම්මේ ඉහළින් මල් ආසනයක් අඩි 5ක් දිග උස අඩි 3ක් යුක්තව සාදා තිබේ. එම බැම්මේ පොළව මට්ටමේ දී හරි මැදින් අඩ කවයක් ආකාරයකට සිමෙන්තියෙන් නිර්මාණය කර ඇත. මෙහි උතුරු හා බටහිර පසට වන්නට පොළොව මට්ටමේ දී අඟල් 15 ක් ඝනකමින් යුත් බැම්මක් නිර්මාණය කර ඇති අතරම එම බැම්ම මත කණු පහක් සාදා තිබේ. මෙම කණු අලංකාරය සඳහාත් මිනිස්සුන්ගේ අරක්ෂාව සඳහාත් නිර්මාණය කර තිබෙන බව කිව හැකිය. පැරණි බෝධිය මෙය වන අතර මෙහි කාලය නිර්ණය කිරීමට නිශ්චිත ශාක්ෂි නොමැත.

නැගෙනහිර බෝධිය

විහාරයෙන් නැගෙනහිරට වන්නට ඇති බෝධිය විහාර ලෙන් ගල් කුට්ටිය අවසන් වන ස්ථානයේ ඇති අතර උතුරු, බටහිර සහ දකුණු පස පමණක් බැම්ම නිර්මාණය කර තිබේ.නැගෙනහිර පස ගල් කුට්ටියෙන් වැසී පවතී.

උතුරු පස බැම්ම අඩි 5′ x 6” උස වන අතර දිග අඩි 30 කි. බටහිර බැම්ම අඩි 30 ක් දික් වන අතර එය පඩිපෙල් ආකාරයට නිර්මාණය කර තිබෙණු දැක ගත හැක. දකුණු බැම්ම අඩි 15 ක් යුක්ත වන අතරම බෝධිය කරා විහාර මිදුලේ සිට පැමිණීමට පියගැටපෙලක් උතුරු පස බැම්ම දිගේ නිර්මාණය කර තිබේ. මෙම පඩිපෙළ හරහා කණු දෙකක් නිර්මාණය කර ගන්ඨාරය සවි කර ඇත. මෙය සවි කරන්නට ඇත්තේ බෝධිය වන්දනා කිරීමේ දී ඝන්ඨා නාදය පවත්වමින් බෝධි පුජා පැවැත් වීම සඳහා විය හැකිය.

ධර්ම ශාලාව

බණ ශාලාව පිහිටා තිබෙන්නේ විහාරයට උතුරු පසින් අඩි 30 ක් පමණ පහත මාලයකය. බණ ශාලාව වටා නැගෙනහිර හැරෙන්නට අඩි 2ක් පමණ ඝණකමැති විශාල ගල් බැම්මක් සාදා තිබේ. මෙය බණ ශාලාවේ ආරක්ෂාව සඳහා යෙදූ බව කිව හැකිය. මෙම මළුවේ නැගෙනහිර පසට වන්නට ශාලාව නිර්මාණය කර තිබේ. බණ ශාලාව 1900 දී පමණ සාදා ඇති කිව හැක. මෙහි පවතින නිර්මාණ ලක්ෂණ ගැන කථා කිරීමේ දී පෙනී යන්නේ පොළව මට්ටමේ සිට අඩි 1ක් පමණ උසට අත්තිවාරම සකස් කර ඇති බවයි. මෙය නිර්මාණය කර තිබෙණුයේ බිත්ති 8 කින් යුක්ත වන ආකාරයට. බිත්ති අඩි 3 අඟල් 6ක් පමණ උස වන සේ ගලින් නිර්මාණය කර ඉන් ඉහල කොටස සම්පූර්ණයෙන්ම ලැටිස් ගසා අලංකාර කර තිබෙණු දක්නට ලැබේ. දකුණු බිත්තිය අඩි 47ක් දිග වන අතර එහි හරි මැදින් අඩි 5ක් දොරක් යොදා තිබේ. බටහිර පස එක් බිත්තියක් අඩි 37 ක් දිග වන අතර එහි හරි මැදින් දොර යොදා නිමවා ඇති අතර බටහිර දෙ‍වෙනි බිත්තිය අඩි 12 අඟල් 6 ක් දිග වේ.උතුරු පස පළමු බිත්තිය හා තුන්වෙනි බිත්තිය පළල එක සමාන වන අතර එක් බිත්තියක් අඩි 17.6 න් සමන්විතය. උතුරු පස දෙවනි බිත්තිය අඩි 12.6 ක් දිග වන අතරම එහි හරි මැද අඩි 6ක් වන ප්‍රධාන දොරටුව පිහිටා තිබේ. නැගෙනහිර පස දොරටු නැති අතර එම බිත්ති දෙක බටහිර බිත්ති හා සමාන වේ. ශාලාව මධ්‍ය‍යේ අඩි 15 x 15 වන අට්ටාශ්‍රාකාර අඩි 1.6 පමණ උස වන මණ්ඩපයක් නිර්මාණය කර ඇති අතර මෙය බණ හා පිරිත් සජ්ජායනා කිරීමේ දී ප්‍රයෝජනයට ගැනීම සඳහා නිර්මාණය කර තිබෙණු දැකිය හැක. වහලය රඳා පැවතීම සඳහා මණ්ඩපයේ නැගෙනහිර හා බටහිර පස කණු හතර බැගින් අටක් නිර්මාණය කර ඇති අතර මේවා ඔප මට්ටම් කරන ලද හතරැස් ගල් කුට්ටි යොදා නිමවා ඇත. කණු අඩි 15ක් පමණ යන තෙක් අඟල් 18 x 18 ඝනකමින් යුක්තවද ඉන් ඉහළ කොටස අඟල් 14 x14 ප්‍රමාණයෙන්ද සකස් කර තිබෙණු දැකිය හැකිය. වහලය පළ 7 කින් යුක්ත වන අතර උළු සෙවිලි කර තිබේ. වඩිම්බු ඉතා සිත් ගන්නා ආකාරයෙන් යොදා ඇති නිසා මෙය දකින අයෙකුට මණරම් නිර්මාණයක් සේ හැඟේ.

පැරණි ආවාස ගෘහය

පැරණි පන්සල් ගොඩනැගිල්ල පිළිබඳව ඓතිහාසික සාධක නොමැති අතර මෙය කුමන කාලයේ නිර්මාණය කළ ගොඩනැගිල්ලක්ද යන්න ස්ථීරව කිව නොහැක. කෙසේ වෙතත් ජනප්‍රවාදයට අනුව මෙම ගොඩනැගිල්ල රජ කාලයේ සිට පැවත එන බව පිළිගැනේ. දැනට මෙම ගොඩනැගිල්ලේ ඉතිරිව පවතින්නේ අඩක් පමණි.එයට හේතුව නව පන්සල් ගොඩනැගිල්ල සෑදීම සඳහා කඩා ඉවත් කර තිබීමයි. දැනට ශේෂව පවතින කොටස කාමර තුනකින් හා ගර්භයකින් සමන්විත වේ. ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ විහාරයට උතුරු පසින් අඩි 60ක් පමණ පහතින් වේ. සක්ක බැම්මෙන් බැඳ ඇති බිත්තියක් අඩි 2ක් පමණ ඝනකමින් යුක්ත වන අතර වහල සඳහා සිංහල උළු භාවිතා කර තිබේ. ගර්භ ගෘහයේ සිට වම් පැත්තට වන්නට පිහිටි කාමරය අඩි 15.6 දිග වන අතර පළල අඩි 12 ක් වේ. මේ සඳහා දකුණු පසින් දොර තබා ඇති අතර උතුරු පසින් ජනේලයකින් සමන්විතය. ජනේල් උළුඅස්ස ඉතා ඝණකම ඇති දැවයෙන් සාදා ඇති අතර උස අඟල් 34 ක් හා පළල අඟල් 28 ක් වේ. ගර්භයෙන් දකුණු පස කාමර දෙකක් ඇති අතර එක් කාමරයක් අඩි 10 – 12 වන අතරම කාමර දෙකම එක සමාන වේ. දොර ජනේල් වම් පස කාමරයේ වාසය කල කුටි ලෙස සැලකිය හැකිය.

ගර්භ ගෘහයට ඇතුළු වීම සඳහා උතුරු පසින් ප්‍රධාන දොරටුව ඇති අතර එය අඩි 5ක් පළල වන අතර උස අඩි 7 ක් පමණ වේ. මෙහි මුදුන ආරුක්කු හතරකින් සමන්විත වන ආකාරයට සකස් කර ඇති අතර ගර්භය මධ්‍යයේ ඉතා සූක්ෂම කැටයම් යෙදූ ලී කුළුනක් වහලයේ බර තබා ගැනීම සඳහා යොදා ගෙන තිබේ. එහි නෙළුම් මල් මොස්තරය හා පලා පෙති මෝස්තර වලින් අලංකාර කර තිබේ. මෙයට අමතරව තවත් ඔප මට්ටමින් කරන ලද කුළුණු තුනක් ගර්භයේ දකුණු පසට වන්නට සිටුවා ඇති අතර ඒවාද වහලයේ බර දරා ගැනීම සඳහා උපකාර වේ. මින් කොටස් කඩා දැමීමේ දී වහලය රඳා තැබීම සඳහා බොරු කණු තුනක්ද ඉහතින් සඳහන් කළ කුළුණු තුනට සමානව දකුණු පස කුටි ඉදිරිපිට සවි කර තිබෙණු දැකිය හැකිය. අඩි 3ක් පමණ පොළව මට්ටමින් ඉහළට එසෙවෙන ආකාරයට අත්තිවාරම් සකස් කර ඇත.

සම්පූර්ණයෙන්ම පැරණි ගොඩනැගිල්ල තිබුණු ආකාරය අසා දැන ගත් පරිදි මැද මිදුලක් සහිතව දැනට ඉතිරිව පවතින ගොඩනැගිල්ලට අමතරව මුළුතැන් ගේ ගබඩාව කාමරය සහිතව කාමර හයක් තිබු බවට තොරතුරු ලැබිණි. මේ අනුව අපට පැවසිය හැක්කේ එදා අද මෙන් ඉතා අංග සම්පූර්ණ ශාලා වලින් යුක්තව මනා දැනුමකින් යුක්තව ගොඩනැගිල්ල නිර්මාණය කර තිබුණු බවයි.

නව ආවාස ගෘහය

මෙම ගොඩනැගිල්ලේ ඉතිහාසය ඉතා මෑත කාලයට අයත් වේ. මෙය නිර්මාණය කිරීමේ දී උපයෝගී කර ගෙන ඇත්තේ ගල් සහ ගඩොල් වේ. අත්තිවාරම කළු ගලින් හා සිමෙන්ති බදාමයෙන් නිමවා ඇති අතර බිත්ති ගඩොල් හා වැලි මැටි උපයෝගී කර ගෙන කපරාලුව සදහා සිමෙන්ති බදාම උපයෝගී කර ගෙන තිබේ. උළුඅහු සඳහා 4 x 3 උළුඅහු ලී භාවිතා කර ඇති අතර වහලය සඳහා ඉරා ගනු ලැබූ යට ලී පරාල හා රීප්ප භාවිතා කර පළ හයක් වන සේ උළු සෙවිලි කර වහලය සකස් කර තිබෙණු දැන ගත හැකිය.

මෙම ගොඩනැගිල්ල පැරණි පන්සල් ගොඩනැගිල්ලට දකුණු පසින් ඉතා ආසන්නයේ ම සකස් කර ඇති අතරම මෙහි ගර්භය මුළුතැන් ගෙය, ගබඩා කාමර දෙක, දාන ශාලාව හා කුටි හයකින් සමන්විත වේ. ගර්භයේ සිට දාන ශාලාව දක්වා අඩි 4ක් පමණ පළල අඩි 20.2 x 18.3 වන අතර උතුරු පසට වන්නට ප්‍රධාන උළුඅස්ස පිහිටුවා ජනේල් උළුඅස්සක් තබා තිබේ. මේ හැරුණු විට නැගෙනහිර පසට උළුඅස්සක් ඇති අතර බටහිර පසින් ජනේල් උළුඅහු දෙකක් තබා තිබේ. ගර්භයට දකුණු පසින් කුටියක් වන අතර එහි දිග පළල අඩි 15 x 15 වන අතර නැගෙනහිර පස කොරිඩෝවට දොර තබා තිබෙන අතර ජනේල් උළුඅස්ස බටහිර දෙසට යොමු කර තිබේ. ඉහත කුටියට දකුණු පසට වන්නට ගබඩා කාමරයක් වේ. එය දිග පළල අඩි 20 x 10 වේ. එහි දොර උළුඅස්ස උතුරු පසට කොරිඩෝවට යොමු කර ඇති අතර ජනේලය බටහිර පසට යොමු කර තිබේ. මෙම ගබඩා කාමරයට නැගෙනහිරට වන්නට දිග පළල අඩි 10×5 කුඩා ගබඩා කාමරයක් ඇති අතර මෙහි දොර උතුරු පසට කොරිඩෝවට යොමු කර ඇත. මේ ගබඩා කාමර දෙකේ දීර්ග කාලීනව තැම්පත් කරණු ලබන බඩු භාණ්ඩ තැම්පත් කිරීම සඳහා උපයෝගී කර ගනු ලබන ගබඩා කාමර ලෙස හැඳින්විය හැකිය. ඉහත ගබඩා කාමරයට නැගෙනහිරින් කුටි තුනක් වන අතර එක් කාමරයක් අඩි 13 x 10 වේ. මෙහි දොර උළුඅහු දෙකම උතුරු පසට වන්නට කුටි දෙකක් තිබෙන අතර එක් කාමරයක් දිග පළල අඩි 10 x10 වන්නා සේම අනෙක් කුටිය අඩි15×10 ප්‍රමාණයෙන් යුක්ත වන්නා සේම දොර උළුඅහු දකුණු දෙසට කොරිඩෝවට යොමු කර ඇති අතර ජනෙල් දෙක උතුරු පසට හරවා ඇත.

මුළුතැන් ගෙය දිග පළල අඩි 21.6 x13 ප්‍රමාණයෙන් වන අතර දකුණු පස දකුණට වන්නට විමිණිය අඩි 5.6 දිග හා පළල අඩි 3.6 නිර්මාණය කර තිබේ. මේ සඳහා දොර උළුඅහු දෙකක් ඇති අතර එක් දොරක් නැගෙනහිර පසට වන්නටත් අනෙක උතුරු පසින් දාන ශාලාවට වන්නටත් තබා තිබේ. ජනෙල් උළුඅහු දෙක නැගෙනහිර හා දකුණු පසට වන්නටත් තබා තිබේ.

මුළුතැන් ගෙයට උතුරු දෙසට වන්නට දාන ශාලාව පිහිටා තිබෙන අතර එය දිග අඩි 36.6 හා පළල අඩි 19 වේ. මේ සඳහා දොර උළුඅහු තුනක් තබා තිබෙන අතර එකක් උතුරු පසට නැගෙනහිර හා බටහිර දෙසට යොමු කර තිබෙන අතර එම පැති තුනටම ජනෙල් උළුඅහු තුනක් ද තබා තිබේ. දාන ශාලාවේ ගිණිකොන දෙසට වන්නට අඩි 10 x 10 ප්‍රමාණයෙන් වෙනම ගබඩා කාමරයක් නිර්මාණය කර තිබේ. මේ සඳහා බටහිර දෙසට උළුඅස්සක් තබා ඇති අතර මෙම ගබඩා කාමරය එදිනෙදා මුළුතැන් ගෙට අවශ්‍ය වන බඩු භා භාණ්ඩ ගබඩා කර තබන කාමරය ලෙස හඳුන්වා දිය හැකිය.

ස්ථූපය

අනුරාධපුර පොලොන්නරු යුග නියෝජනය කළ රජවරුන් විසින් විශාල දාගැබ් නිර්මාණය කරන ලදහ. එහෙත් මහනුවර යුගයේදී විශාල දාගැබ් නිර්මාණය නොකෙරෙණු අතර විහාරය අභ්‍යන්තරයෙහි කුඩා දාගැබ් සාදන ලදී. මෙයට හේතුව වන්නට ඇත්තේ වාණිජ සමාජයක් ඇති වී තිබූ නිසාත් දේශපාලන ඒකීයත්වයක් නොපැවතුන නිසාත් විය හැකිය.

මෙම විහාරයේ ඇති දාගැබ් විහාරය තුල පැරණි විහාරය අභියස නිර්මාණය කර තිබේ. මෙය නිර්මාණය කරන ලද්දේ 1 නව බුවනෙකබාහු රජු විසින් මින් පසු කාලයේ විසූ කොට්ටඉඹුල්වල විහාර සඟපරපුරට අයත් කොට්ටඉඹුල්වල අනොමදස්සි හිමි විසින් දාගැබ ප්‍රතිසංස්කරණය කර ඇත. අඩි දෙකක් පමණ උස වෘතාකාර මණ්ඩපයක් මත නිර්මාණය කර ඇති අතර පේෂා වලලු තුනකින් යුක්ත වේ. මෙහි විෂ්කම්භය අඩි 11 ක් පමණ වේ. ඉහළම පේෂා වලල්ල මත පලාපෙති මොස්තරයකින් අලංකාර කර තිබෙණු දක්නට ලැබේ. ඝණ්ඨාකාර හැඩයෙන් යුක්ත වන ගර්භය අඩි 7 අඟල් 3කින් යුක්ත විෂකම්භයකින් යුක්ත වේ. හතරැස් කොටුව අඩි 2 ක් උස් වන අතර එක් පැත්තක පළල අඩි 3 කි. දේවතා කොටුව හා කොත්කැරැල්ල අඩි 3.5 උසින් යුත්තය. මේ අනුව කිව හැක්කේ මෙහිදී විහාරය තුළම කුඩා දාගැබ් නිර්මාණය කර ඇති බවකි.

බිතු සිතුවම් සාධක

කොට්ටඉඹුල්වල විහාරයෙහි හරි අඩක් පමණ බිතුසිතුවම් වලින් ග්‍රහණ වේ. මෙම සිතුවම් වලින් බොහෝමයක් දැනට මැකී යාමේ තර්ජනයකට ලක් වී පවතී. විහාරයේ කටාරමට යටින් ඇද තිබෙන ක්‍රමයෙන් මැකී යන චිත්‍ර ඇති බව සපරගමු දර්ශනයෙහි සඳහන් වේ.

මේ සිතුවම් මාතෘකා කිහිපයක් ඔස්සේ ඇඳ ඇති බැව් පෙනී යයි. මෙම මාතෘකා පොදුවේ ගෙන බැලීමේ දී මෙලෙස දැකිවිය හැකිය.

* ජාතක කතා
* සොලොස්මස්ථාන
* බුද්ධ චරිතය හා සම්බන්ධ තොරතුරු
* ශාසනික ප්‍රවෘත්ති
* අපාය දර්ශන
* දිව්‍යලෝක
* දේවරූප හා ඓතිහාසික පුද්ගල රූප
* සැරසිලි මෝස්තර

ඉහත මාතෘකාවන් ගැබ් කර ගත් විශාල සිතුවම් ප්‍රමාණයක් විහාරයේ ඇඳ තිබෙණු දක්නට ලැබේ. මේවා සියුම්ව අධ්‍යයනය කිරීමෙන් එකල පැවති සමාජ හා ආර්ථික තත්වය වටහා ගත හැකිය.

සිතුවම් අධ්‍යයන පහසුව සඳහා විහාරය කොටස් බෙදා ගත් ආකාරය පහතින් සඳහන් වේ.

* ඇතුළු ගෘහය
* ඇතුළු ගෘහයේ පැරණි විහාරය
* අන්තරාලය හෙවත් බරාදය
* මණ්ඩපය
* ඇතුළු ගෘහයට නැගෙනහිරින් පිහිටි දේවාලය
* ඇතුළු ගෘහයට බටහිරින් පිහිටි සූවිසි බුදුන් සහිත උප කුටිය
* පිටතට පෙනෙන කටාරමට යටින් වූ බිත්තිය.

මේ බෙදීමට අනුව 1,2,3,5,6, යන කුටි තුළ සිතුවම් ඇති අතර අංක 4 තුළ කිසිම සිතුවමක් නොමැත. බරාඳයේ ඉතා පැහැදිලි සිතුවම් ඇති අතර ඒවා විහාරයට ඇතුළු වන්නට මූණ ගැසෙන සේ නිර්මාණය කර තිබේ.මෙම කුටි අතරත් බිත්ති බොහෝමයක සිතුවම් ඇඳ නැති අතර එම බිත්ති සුදු හුණු පිරියම් කර තිබෙණු දක්නට ලැබේ. 7 වෙනි සිතුවම් කඩ විහාරය ඇතුලට නොපෙනෙන අතර විහාරයේ පිටත සිට නැරඹීම සඳහා කටාරමට යටින් බිත්තියේ නිර්මාණය කර ඇත. මෙය ඇතුළු ගෘහයේ උතුරු බිත්තියේ අන්තරාලයේ පියස්සෙන් ඉහළ කොටස වේ.

ඇතුළු ගෘහය

ප්‍රධාන විහාර ගෙයි සිතුවම් හැඳින්වීමේ දී ඔත් පිළිමයට ඉදිරියෙන් දැව පුදසුන් හතරක් වේ. එහි නැගෙනහිර පස පුදසුන් තුනෙහි සොළොස්මස්ථාන නිර්මාණය කර ඇත. දැව පුදසුන් වල චිත්‍ර නිර්මාණය කිරීමත් කොට්ටඉඹුල්වල විහාරයට පොදු වූ ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය.

නාගදීපය ( වත්මන් යාපනයේ) එම පූජනීය ස්ථාන අතරින් දෙවැන්නයි. මෙම පුජනීය ස්ථාන නිරූපනය කිරීම සඳහා පෙන ගොබ විදහා ගත් නාගයින් විශාල සංඛ්‍යාවක් ස්ථූපය වන්දනා කිරීමට යත්න දරණ ආකාරය එම ස්ථානයේ විශේෂත්වයයි. මෙලෙස නාගයින් විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීමෙන් අදහස් කරන්නට ඇත්තේ නාග දීපය හඳුනා ගැනීම සඳහා යයි කිව හැකිය. එයට හේතුව සිතුවමට යටින් නාගදීපය ලෙස නම් කර තිබීමයි. මෙම අවස්ථාව නිරූපනයේ දී රේඛා හැසිර වීම මෙන්ම කහ හා සැදිලිං ගම් රතුපාට අතර ප්‍රතිරෝධීතාව සටහන් කරණු පිණිස දුඹුරු වර්ණය මදක් සංකලනය කිරීම යන කරුණු වලින් පෙනී යන්නේ මෙය කෘතහස්ත සිත්තරුවකුගේ නිර්මාණයක් බවයි.

ශ්‍රී පාදය සොලොස්මස්ථාන අතුරින් එකක් ලෙස සඳහන් වේ. වන්දනා කරුවන් දෙදෙනෙකු මෙහි ශ්‍රී පාදයට නැගීම චිත්‍රයට නගා තිබේ. සමනල මුදුනේ ඇති කුටියක් තුළ ශ්‍රී පතුල ඇද දක්වා තිබේ. කඳු මුදුනේ සිට එල්ලෙන දං වැලෙන් පෙන්නුම් කෙරෙනුයේ වන්දනා කරුවන් විසින් නැගිය යුතු දුෂ්කර මාර්ගයයි. වන්දනා කරුවාගේ අතේ වතුර සෙම්බුවක් දක්නට ලැබේ. රෙදි පොදිය හා ගමනට උවමනා බඩු භාණ්ඩ උරහිස මත තබාගෙන යයි. ඔහුගේ බිරිඳ ලෙස සිතිය හැකි කාන්තාවක් නව ගුන වැලක් ගනිමින් භාවනානුයෝගීව ඔහු පසු පස ගමන් කරයි. සැදැහැවතුන් දෙදෙනා විශාලව දැක්වීමට උත්සහ කරනු ලබන අතර මුළු නිර්මාණය කෙරේම අවධානය යොමු නොකරයි.

සොළොස්මස්ථානයට අයත් අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අලංකාර ලෙස නිර්මාණය කර ඇත. වන්දනා කරුවන් මහාබෝධියට පුද පූජා කරන ආකාරය නිර්මිතය. පසඟ පිහිටුවා වදින රූපයට පසු පසින් වාඩි වී සිටින්නා එක් අතකින් දිග මිටක් සහිත කොඩියක් ද අනෙක් අතින් පුවක් මලක්ද ගෙන සිටී. මොහු සිය හාම් පුතා හා බිරිඳ සඳහා පූජා වස්තු ගෙන යන සේවකයෙකු විය යුතුය. පසඟ පිහිටුවා වදින පුද්ගලයන් හා සේවකයන් ඇඳ සිටින ඇදුම් තත්කාලීන සමාජයේ විවිධ තරාතිරම් වල පුද්ගලයින්ගේ හැසිරීම් රටා වල වෙනස දැක්වේ. ගස්වල අතුපතර දැකිවීමේ රටාමය ක්‍රමය 18 වැනි සියවසේ දෙගල් දොරුව හා දඹුලු චිත්‍ර වල භාවිත ක්‍රමය වෙයි. එසේ වුවත් ගස්වල කඳන් හා ගඩොලින් කළ මළුව නිරූපණයේ දී යතාර්ථවාදී බවත් පෙන්නුම් කරයි. මානව රූප වල මුදුනේ රේඛා හා උතුරු සළුවල පොටවල් දැක්වීමේ දී සුළු අඳුරු කිරීමක සේයාවක් දැකිය හැකිය.

කතරගම හා සේල චෛත්‍ය වන්දනා කිරීමේ සිතුවමේ දී විවිධ වෘතීන් වලට අයත් සේ සැලකිය හැක. වන්දනා කරුවන් කතරගම කිරි වෙහෙර වෙත ළඟා වන අයුරු නිරූපිතයි. මෙහි වන්දනා කරුවන් තිදෙනා ජාතීන් තුනකට අයත් බැව් පෙනේ. වම් කෙළවර සිටින හිස වසා ගත් කාන්තාව ද්‍රවිඩ කාන්තාවක් විය හැකිය. කහ වතක් හැඳ අතින් දිය කෙන්ඩියක් ගෙන සිටින තරබාරු පුද්ගලයා බ්‍රාග්මණයෙකු ලෙස සැලකිය හැකිය. එම රූපයේ කුණ්ඩලාභරණ හා දැලි රවුලු නිර්මාණය කර තිබේ. ඉරි වැටුනු රෙද්දක් අමුඩ ගසා ගෙන තලප්පාවක් බැඳ සිටින පුද්ගලයා පොරොවක් අතින් ගෙන අනිත් අතින් පැන් කෙන්ඩිය දරා සිටී. ඔහුගේ පැහැය කුණ්ඩලාභරණ සහ ඔහු ගෙන යන දේ වලින් පෙනී යන්නේ ඔහු ද්‍රවිඩ වතු කම්කරුවෙකු හා වැද්දෙකුගේ ගොවියෙකු ලෙස පෙනී යයි. දකුණු කෙළවරේ සිටින සිව්වැනි පුද්ගලයා තලෙළු පැහැය හා ඇදුම් හා කොණ්ඩයෙන් පෙනී යන්නේ සේල චෛත්‍ය දෙසට වන්දනා කරන සිංහල බෞද්ධ කාන්තාවක් ලෙස සැලකිය හැකිය. එක් එක් පුද්ගලයාගේ වාර්ගික ලක්ෂණ චිත්‍රණය කිරීමට කලා කරුවා සමත් වී ඇත. සිතුවම් ඉතා පැහැදිලිව මනහරව චිත්‍රයට නගා තිබීම ඉතාම දැකුම්කළුය.

තිස්ස මහා විහාර වන්දනයේ දී සැදැහැවත් බෞද්ධයින් දෙපලක් විසින් මල් අතින් ගෙන වන්දනා කිරීම නිරූපනය කර තිබේ.

ජේතවන වන්දනයේ දී මල් කිනිත්තක් ගත් සැදැහැවතියක් ස්ථූපය වෙත යන අයුරු නිරූපිතයි. 20 වන සියවසේ කලා රීති අනුව නිරූපිත වුවද මහනුවර සිත්තර සම්ප්‍රදාය සිහි ගන්වන ලක්ෂණ ඇති බැව් පාර්ශ්ව චිත්‍රයේ නෙත ඉදිරියට හැරෙන සේ ඇඳ තිබීමෙන්ද පසු කාලය සඳහා රක්ත වර්ණ යෙදීමෙන්ද ප්‍රකටව පෙනේ.

මේ ආකාරයෙන් සොලොස්මස්ථාන නිරූපනය කර ඇති අතර බටහිර පස පුදසුනෙහි විවිධ මල් වලින් යුතු මල් පෝච්චි හතරක් විවිධ ආකාරයෙන් නිරූපනය කර ඇත. මෙය එක් එක් ප්‍රමාණයෙන් නිරූපිතය.

ප්‍රධාන පිළිමගේ සිවිලිම කොටස් දෙකක් යටතේ සිතුවම් ඇඳ ඇත. ඔත් පිළිමයට ආසන්නයේ ඇති පළමු කොටසෙහි කහ හා සුදු පාටින් යුත් විශාල මල් සහිත ලියවැල් රාමුවකින් යුක්ත වේ. රේඛා යෝජනයේ ඇති අසංයත විපුලතාවත් අසීමිත ප්‍රාණවත් බවත් කේවල වර්ණමය වර්ණ යෝජනය පිළිවෙලත් සිහියට නගන්නේ හිමෙව් පියෙස නිරූපනයේ දී දක්නට ලැබෙන ජන කළ ශක්තිය හා එම ප්‍රකාශන විලාශය මැයි මෙම ලියවැල ඉතා ප්‍රාණවත් අන්දමින් ඉතා පැහැදිලිව ලයාන්විත ආකාරයට සියුම් තැන් ඉතා සූක්ෂම අන්දමින් නිර්මාණය කර තිබීමෙන් පෙනී යන්නේ කලා කරුවා තුළ තිබූ මා හැගි නිපුණතාවයයි. මෙහි වර්ණ සංයෝජනයද මැනවින් එකිනෙකට ගැලපෙන ආකාරයට වර්ණ ගන්වා ඇත. දැනට මෙයින් සුළු කොටසක් මැකී ගොස් ඇත.

සීලිමෙහි අනික් කොටසේ රෝස මල් රටා හා ලියවැලක් මධ්‍යයේ අනෝතත්ත විල හා ඉන් පිටවන සතර මහා ගංඟා කේන්ද්‍ර කොට ගත් හිමාලය වන පරිසරය ඇතුළත්ය. මෙම කොටසෙහි සත්වයින්ද විල්, දොළ, ගිරි, ශිඛර, වෘක්ෂ ලතා ආදිය නිර්මාණය කර තිබේ. හිමාලය පිහිටි අනෝතත්ත විලෙහි

* නැගෙනහිර – සිංහ මුඛය
* දකුණින් – හස්තියා මුඛය
* බටහිරින් – වෘෂභ මුඛය
* උතුරින් – අශ්ව මුඛය

සිව් මුඛයෙන් සතර මහා ගංගාවෝ ගලා යති. මේ තේමාව දඹුළු ලෙනේ පිළිම ගෙයත් අලංකරණය සඳහා මහනුවර යුගයේ දී යොදා ගෙන ඇත. මෙම තේමාව පසු තලයක දක්වා අවිච්චින්නව පවත්නා අයුරු දැක්වෙන සාධකයක් අයුරින් කොට්ටිඉඹුල්වල ලෙන් විහාර ගේ මුළු සීලිමේ ඇති අනෝතත්ත විල කේන්ද්‍ර කොටගත් හිමව් පියෙස දර්ශනය දැක්විය හැකිය.

මෙහි නිරූපනය කර ඇති පරිදි නෙළුම් සහිත විලේ දිශා සිව් කොනේ සතුන්ගේ ශිර්ෂ ඇඳ දක්වා තිබේ. මෙය චතුර් දිශාවට මුහුණ ලා සතුන් සතර දෙනෙකු ඇඳ ඇති සාම්ප්‍රදායික සිතුවම් වලට වඩා වෙනසක් ඇත.සත්ව මුව තුළින් නිකුත් වන ජලය ජල වටා කරකැවී මහා නදීන් ලෙස ගලා යයි. මෙම තේමාව නිරූපිත වෙනත් අවස්ථාවල ඇති පරිදි එක් ගංගාවක් උතුරු දෙසටත් අනෙක් ගංගා තුන බටහිර දෙසටත් ගලා ගොස් වෙනත් විල් වලට වැටී පැතිර යන අවස්ථාවට වඩා මෙහි වෙනස්ය. මෙහි කඳු වන පෙත් පොකුණු හා ඇත් පන්තියෙන් යුත් හිමව් පියස අනෝතත්ත විලෙහි සිට ගත් පසට පැතිර යයි.

මෙයට අමතරව මෙම කොටසෙහි වසු පැටියෙකුට කිරි පොවන අවස්ථාවක් නිරූපිතය. මෙම හිමාල වනයෙහි ගව දෙනක් තම පැටියාට වලිගය දිවෙන් පිරිසිදු කරමින් පැටියා සුරතල් කරන අයුරු ඉතා ස්වාභාවික හා සෙනෙ‍හෙස දනවන අයුරු නිරූපිතය. උන්ගේ සිරුරුවල ස්වභාවික ලෙසත් එම ස්ථානයට අවශ්‍ය පරිදි ගස් වැල් නිර්මාණය කර ඇත. සිතුවම් බෝඩරය ජ්‍යාමිතිය මෝස්තරයෙන් සරසා ඇත. මෙම සිතුවම ඉතාමත් ප්‍රිය ජනක සිතුවමක් ලෙස හැඳින්විය හැකිය.

තවත් ස්ථානයක හිමව් පියෙස්සෙහි එක් ස්ථානයක් කොටස් තුනකට බෙදා ඉහළ කොටුවේ පදුරකි. මැද කොටුවේ වල් ඌරු රංචුවකි. අනිත් කොටුවේ කෙතක් දක්නට ලැබේ. මෙහි කෙසෙල් පදුරෙහි ඉතා බහුලව සෑදුනු කෙසෙල් කැන් රාශියක් හා මොරෙයියන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. කෙත ඉතා සරුසාර ඵලදාවයෙන් යුක්තව නිර්මාණය කර තිබේ. වල් ඌරන් පැටව් සමග විශාල සංඛ්‍යාවක් ඇත. මෙයින් පෙන්නුම් කරන්නට අදහස් කරන්නට ඇත්තේ ස්වයංපෝෂිත සමාජයක් වන්නට ඇත. ඒ වගේම හිමාලය සෑම දෙයින්ම සරුසාරව ඇති බව පෙන්වීමටද අදහස් කරන්නට ඇත. තවත් අපට සිතිය හැකි මෙකල කොට්ටිඉඹුල්වල ගම මෙවැනි සරුසාරත්වයෙන් පවතින්නට ඇත කියා ය. මෙකල මෙම ගමේ දක්නට ලැබුණු සත්වයන් ගවයා , ඌරා වගේම කෙසෙල් ගස් කුඹුරු වතු පිටි මෙහි නිර්මාණය කරන්නට ඇති කියා සිතිය හැකිය. ඒවා ඒ ආකාරයෙන්ම නිර්මාණය කරන්නට ඇත්තේ නිතර දෙවේලේ දක්නට ලැබුණු නිසා විය හැකිය. සීගිරියේ කාන්තාවන් නිර්මාණයේ දී කාන්තාවන් අධ්‍යනය කර ඇති බව පැවසේ. මේ හැරුණ විට ප්‍රධාන පිළිමගේ උතුරු නැගෙනහිර හා බටහිර බිත්ති සම්පූර්ණයෙන්ම සුදු හුණු පිරියමින් යුක්ත වේ.

ඇතුළු ගෘහයේ පැරණි විහාරය

ප්‍රධාන පිළිම ගෙයි ඔත් පිළිමයට ඉතා ආසන්නයේ කුඩා උප කුටියක් ඇත. එම කුටිය සිතුවම් ප්‍රමාණයකින් යුක්ත වේ. මෙහි නැගෙනහිර බිත්තියේ නැගෙනහිර දෙසට හැරී වන්දනා කරන ස්වරූපයකින් ඇඳ ඇති ඉදිරි පසට මුහුණලා තිරස් අතට අඳිනා ලද රහතුන් වහන්සේලා දෙපලක් නිර්මාණය කර තිබේ. උතුරු බිත්තියේ මැදින් දොරටුවක් ඇති අතර ඒ දෙපස රාජ සහිත නිල ඇදුමින් සුරසුනු සක් පිඹින්නන් දෙදෙනෙකු සිතුවම් කර තිබේ. බටහිර බිත්තියේ තිරස් අතට රහතුන් වහන්සේලා දෙනමක් සිතුවම් කර ඇත. ඉහළින් නිර්මාණය කර ඇති රූප වලට සමාන ලක්ෂණ දරයි. යටින් ඇඳ ඇති රූප මුහුණේ එක් පසක් පමණක් දැක්වෙන සේ ඇඳ ඇති දෝතින් මලක් ගෙන සිටින සේ නිර්මිතය. කොටස් තුනකින් යුක්ත වන සේ සීලිම නිර්මාණය කර ඇත. මැද කොටස රතු පසුතලයක් මත කහ, කොළ, හා සුදු වර්ණ යොදා නිමවන ලද මල් හා ලියකමින් ඔපවත් කර ඇත. දෙපස ජනෙල් දෙකෙහි එබදු ලිය කම් ඇතත් එබදු පසුතලයක රතු, කොළ, හා කහ වර්ණවලින් ඒවා ඇඳ ඇත. රහතුන් වන්සේලා නිරූපනයේ දී බුදුන් වෙත ගමන් කරන පෙරහැරෙහි රහතුන් වහන්සේලා මල් ගෙන වඩිති. එම සිත්තම සාම්ප්‍රදායික ශෛලියේ පරිහානි අවස්ථාවක් පිළිබිඹු කරයි. තොල් යුගලයෙහි විශාලත්වය , නිකටෙහි විශාලත්වය රූප රේඛා පිළිබඳව සැලකිල්ලක් නොමැති කම සම්ප්‍රදායික මධ්‍ය කාලීන කලා ලක්ෂණ බොහෝ සෙයින් පරිහානි තත්වයක් මින් නිරූපනය වන බව පෙනේ. මෙම පිළිමගෙයි සීලිම අලංකාර කර ඇත්තේ සෑම ලියකමක්ම විකසිත වන විශාල අන්නාසි මලකින් යුත් අලංකාර ලියවැල් මොස්තරයකිනි. මෙහි දක්නට ලැබෙන ශෛලිය මෙන්ම වර්ණ සංයෝජනයද ප්‍රධාන ලෙනෙහි සීලිම් සැරසිල්ලට වඩා වෙනසක් දක්නට ලැබේ. මෙහි ඇඳ ඇති රේඛා සම්පූර්ණ කර තිබේ. වර්ණ යෝජනයේ ද පැහැදිලි වෙනසක් දැක ගත හැක. රූප ඉතා ප්‍රමාණවත් අන්දමින් නිර්මාණය කර තිබෙනු දක්නට ලැබේ.

අන්තරාලය හෙවත් බරාදය

විහාරයේ ප්‍රධාන කුටියේ උතුරු බිත්තියේ පිට පැත්ත හෙවත් බරාදයේ දකුණු පස බිත්තියේ සිතුවම් විශාල ප්‍රමාණයක් නිර්මාණය කර තිබේ. මෙම බිත්තියෙහි ප්‍රධාන දොරටු තුන සිත්තම් කරන ලද වරම් දෙව්රූවලින් යුක්ත වේ. ඒ දොරටු මත තොරණ වෙයි. තොරණ් දෙකක ප්‍රධාන මෝස්තරය හිරු මඩල හා සඳ මඩල රටා වන අතර ඒවා දෙපස කින්නරාංගනා රූප ඇඳ තිබේ. තෙවැන්නේ අණ්ඩාකාර රාමුවක් තුළ ඇඳ ඇති පියාසර රූ දෙකකි. මෙම දොරටු තුනෙහි ස්කෝනම් වල පලා පෙති මෝස්තරයෙන් අලංකාර වී පවති. මෙම බිත්තිය වමේ සිට දකුණට තිරස් තීරු දෙකක් අතරත ලංකාවේ හා ඉන්දියාවේ රජ කළ බුදු දහමට විශේෂ අනුග්‍රහයක් දැක් වූ රජවරුන් හා බිසෝවරුන් ද රාජකීය කාන්තාවන් හා පුරුෂයින්ද ප්‍රධාන දායික දායිකාවන් ද නිරූපනය කර ඇති අතර පිළිවෙලකට නොමැති වුවත් කවලමේ සිතුවම් කර තිබෙනු දක්නට ලැබේ. ඉතා විශාලව නිර්මාණය කර ඇති මානව රූප වල නම් සඳහන් කර ඇති අතර එම නම් මෙසේ ඉදිරිපත් කළ හැකිය.

* විශාඛා දේවී
* චන්ද්‍රා දේවී
* පදුම දේවී
* බ්‍රහ්මදත්ත රජතුමා
* ජෝතිය සිටානෝ
* ජටිල සිටානෝ
* උත්පල සිටානෝ
* පණ්ඩිත පරාක්‍රමබාහු රජු
* විමලධර්ම රජු
* ධන සිටානෝ
* සුනීත සිටානෝ
* ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
* ධර්මාශෝක රජතුමා
* පද්මාවතී දේවී
* මිගාර සිටානෝ
* මහාමායා දේවී
* නන්දා දේවී
* අනේපිඬු සිටානෝ
* දෙවන පෑතිස්ස රජු
* දුටුගැමුණු රජු
* කීර්ති ශ්‍රී රජු
* තලතා දේවි
* අමරා දේවී
* කෝසල මල්ලිකා
* රාජසිංහ රජු

සම්පූර්ණ ශරීරය ආභරණ වලින් සැරසී සිටි ඉරියවුවෙන් යුක්ත වේ.

නැගෙනහිර පස උප කුටියේ උතුරු බිත්තියේ පිට පැත්ත වෙන වෙනම එකට ආසන්නයේ ඇදි සිතුවම් දෙකක ආසනයක් මත හිඳ ගත් රජකු වෙත යුධ භටයෙකු විසින් සිරකරුවෙකු ගෙන එනු ලබන සේ නිර්මාණය කර ඇති සිතුවම් දෙකම එකම ආකාරයෙන් නිර්මාණය කර ඇති අතර ඒ හැරුණු විට මුළු බිත්තියම සුදු පාටින් යුක්ත වේ. මෙම ඇඳ ඇති සිතුවම් මෑතකදී කළ නිර්මාණයක් ලෙස සංස්කෘතික ත්‍රිකෝණයෙන් කළ ග්‍රන්ථයේ සඳහන් කරයි. මේ සිතුවම කුමක් සඳහා නිර්මාණය කළා දැයි පැහැදිළිව කිව නොහැකි වුවත් විහාරයට පොදු වූවක් සේ දැක්විය හැකිය. මෙය මෙකල පැවති රාජ නීතියක් වන්නට පුළුවන.

බටහිර පස උප විහාර කුටියේ උතුරු පස බිත්තියේ පිට පැත්ත සිතුවම් නිර්මාණය කර නොමැත.

ප්‍රධාන පිළම ගෙයි ඉදිරිපස ඇති බරාදයේ සීලිම සම්පූර්ණ ලෙස විත්‍ර වලින් අලංකාර කර තිබේ. සිවිලිම බාල්ක යොදා ලෑලි වලින් සාදා ඇති නිසා කොටු 21 කින් සමන් විත වේ. මේ සිතුවම් කිසියම් මාතෘකාවක් යටතේ අඳින ලද චිත්‍ර කොටස් තුනකින් යුක්ත වේ. ඉන් මුල් තුනෙහි නැගෙනහිර පසින් ආරම්භ කර ඇඳ ඇත්තේ මාර විජය චිත්‍රයයි. එහි මාරයා බටහිර පසින් යුද්ධයට පැමිණ නැගෙනහිර දෙසට පලා යනු ආකාරයෙන් නිර්මිතය ඊළඟ ජනේල තුනෙහි නම් වශයෙන් සඳහන් කර ඇති අපාය තුනක දඬුවමට යටත් වුවන් දැන්වෙයි. මෙහි සඳහන් ආකාරයට

* කටු ඉඹුල් නරකය
* රෞරව නම් නරකයෙහි යම රජු නඩු අසයි
* ඔසුපත් නරකය
ආදිය ලෙස වේ.

ඊලඟ පනෙල් තුනේ මහාද්වීප, සමුද්‍ර, ගංගා, හා ගිරි පර්වත ද විවිධ මිනිස් වර්ග ද සහිතව මිනිස් ලොව නිරූපිතය. පනේල 21 මැද චිත්‍ර පනේලයෙහි තේමාව වී ඇත්තේ විචිත්‍ර නෙළුම් පොකුණ හා කල්පදෘමය ද ඇතුළත් විවිධ රත්නයෙන් විභූෂිත ශක්‍ර භවනයි. ශක්‍රයාගේ මාලිගය දෙපස දෙවියන් විසින් වන්දනා කරනු ලබන අසුරයන් විසින් මුර කරනු ලබන සිළුමිණි සෑය යන චෛත්‍ය නිර්මාණය කර ඇත. ඊළඟ පනේල පෙළ සූර්්‍යය භවනය,චන්ද්‍ර භවනය හා තවත් දිව්‍ය භවන පහක්ද ඒවාහි ආධිගෘහිත දේවතාවන් හා දිව්‍ය ගාන්ධර්ව රූපවලින් ද සමලංකෘතය. අවසන් පනේල හය අනෝතත්ත විල කේන්ද්‍ර කොට ගත් හිමාල අඩවිය පසුබිමේ ඇඳ ඇති ජාතක කථා සඳහා වෙන් කර ඇත. මෙම ගිරි ශිඛර හා වන පෙතින් ආකූල පසුබිම තුළින් විද්දන්ත ජාතකය හා වෙස්සන්තර ජාතකයත් රසවාහිනියේ එන දහම් සොඩ වස්තුවත් මෙහි නිරූපනය කර තිබේ.

අපාය දර්ශන සිවිලිමේ ඇදීම වෙනත් විහාර වල දැක ගැනීමට නොහැකි අතර කොට්ටිඉඹුල්වල පොදු වූ ලක්ෂණයක් ලෙස හඳුන්වා දිය හැකිය. වෙනත් විහාර වල අපාය දර්ශන පහත ස්ථානයක දක්වන අතර මෙහිදී ඉතා උසස් කොට සිවිලිමේ ඇදීම විශේෂ ලක්ෂණයක් සේ සැලකිය හැකිය. ඒ වගේම අපාය, මහද්වීප, ගංගා, මනුෂ්‍යලෝක, දිව්‍ය ලෝක හා හිමාලයීිය දර්ශන ඇතුළත් බෞද්ධ ලෝක විභාගය මෙයින් පිළිබිඹු කරන බව සදහන් කළ හැකිය.

මණ්ඩපය

මණ්ඩපයෙහි කිසිම සිතුවමක් ඇඳ නැති අතර එම කොටස සුදු හුණු පිරියම් කර තිබෙණු දැක ගත හැක.

ඇතුළු ගෘහයට නැගෙනහිරින් පිහිටි දේවාලය

මෙම පිළිම ගෙයිද ප්‍රධාන පිළිම ගෙයි මෙන් දැව පුදසුනෙක සිතුවම් නිර්මාණය කර තිබේ. මෙහි සස ජාතකය නිර්මාණය කර ඇත.එහි එන මහළු බමුණා නැවත නැවත ඇඳ දක්වා ඇත. බමුණාට සිවලාත්, වදුරාත්, කොකාත්, හාවාත් මුණ ගැසෙන අවස්ථා වෙන් වෙන්වමත් අවසානයේ දී ශක්‍රයා සාවාගේ රුව සඳ මඩලේ ඇදීමත් සිතුවම් කර ඇත. මෙහි උතුරු හා බටහිර බිත්ති තිරස් තීරු දෙකක් අතට දෙකට රහතුන් වහන්සේලා යයි සිතිය හැකි අතින් වැටකේ මලක් ගෙන සිටී. එයට අමතරව පූජා භාණ්ඩ සහිත වට්ටි අතින් ගත් දානපතියන් නිර්මාණය කර ඇත. නැගෙනහිර කොටසෙහි කාන්තාවන් සිව් දෙනෙකු විසින් පෙරටු කර ගන්නා ලද පිරිමියෙකු සහිත පිරිසක් හිසින් පූජා භාණ්ඩ ගෙන එනු චිත්‍රනය කර තිබේ. මැද සිටින තැනැත්තා කඩුවක් හා සැරයටියක් ගෙන සිටින අතර දොර අසල සිටින තැනැත්තා නිරුවත් උඩුකය සහිත සක් පිඹින්නෙකි.

මහනුවර යුගයේ හා ඊට පෙර බෞද්ධස්ථාන වල නිරූපනය වෙමින් පැවති සම්ප්‍රදායික වස්තු විෂයයන් නම් මුරකරු හා සක් පිඹින්නායි. සාමාන්‍යන් බ්‍රග්මණයෙකු වූ සක් පිඹින්නා අමුඩ ගසා ගෙන තලප්පා බැඳ සිටිනු මෙහි නිරූපිතය. අනිත් අතට මුරකරු අර්ධ යුරෝපීය ඇඳුමින් සැරසී සිටී.

මේ කුටියේ සිලීම සඳහා යොදා ගෙන ඇත්තේ සාම ජාතකයේ එන කතාය. පැරණි කතා මේ සඳහා යොදා ගෙන ඇත. මෙහි එන සිද්ධි මීගසම්මුඛ නදිය හා අතු ගංගා මගින් වෙන් කර තිබේ.

වැදි නායකයෙකුගේ දියණියක් වන පාරිකා තවත් නායකයෙකුගේ පුතෙකු හා විවාහ වී තපසට වන වැදි ඔවුන් බ්‍රග්මචාරීව වනයේ ජීවත් වේ.‍ඔවුන්ගේ පෙර කර්ම ඵල වල ප්‍රතිඵලයක් ලෙස අන්ධ වන බව බවත් ඔවුන් රැක බලා ගැනීම සඳහා පුතෙකු ලබා ගත යුතු බවත් දෙවියෙකු ඔවුනට දැනුම් දෙයි. ඔවුනට මේ අනුව සාම කුමරු ලැබෙන අතර දෙවියා කී පරිධි දෙමාපියන් අන්ධව ගිය කළ ඔහු ඔවුන් පෝෂණය කරමින් සිටී. එක් රූපයකින් පෙන්නුම් කරන ආකාරයට පාරිකාවෝ විවාහ වීමට සූදානමින් සිටී. අලංකාර ඇදුමින් සැරසුනු පාරිකාවන් දෙපස යෙහෙළියන් දෙදෙනෙකු සිටී. සිද්ධියට පසුබිම්ව ඇත්තේ නදියක් අසබඩ වූ වනගත ගමකි. එහි පසුබිම සුදුපාටින් ඇති අතර ගස් වල අතු කොළ පාටින් යොදා තිබේ.

ඇතුළු ගෘහයට බටහිරින් පිහිටි සූවිසි බුදුන් සහිත උප කුටිය

මෙම පිළිම ගේ තුළ නැගෙනහිර , දකුණ හා බටහිර බිත්ති වලට යාබදව සූවිසි බුදුවරයන් නිර්මාණය කර තිබේ.මෙහි පළමු බුදුන් වහන්සේට වන්දනා කරනු ලබන රහතුන් වහන්සේලා පෙලක් උතුරු බිත්තියේ නිර්මිතය. මෙය නූතන චිත්‍රයකි.

මෙය හැරුණාම උතුරු පස බිත්තියෙහි දොරටු දෙක අතර මේ ගුහාවේ ඇති සූවිසි බුදුවරයන් වහන්සේලා නිර්මාණය කළා යයි විශ්වාස කරනු ලබන නේවාසික භික්ෂුන් වහන්සේගේ රූපය චිත්‍රනය කර තිබේ.එහි සඳහන් වන පරිධි මෙම හිමියන්ගේ නම සඳහන් කර ඇත්තේ මලිදුව ගුණානන්ද හිමි ලෙසය. මෙම සිතුවම් දෙක ඇරුණාම ඉතිරි බිත්ති සියල්ලම සුදු හුණු අලේප කර ඇත.

මේ කුටියේ සිවිලිම ඉතා අලංකාර ලෙස නිර්මාණය කර තිබේ. සිවිලිම හතර වටේට ලිය වැලක් යොදා රාමුව අලංකාර කර තිබේ. මෙහි මෙම රාමුව දකුණු පස සිට උතුර දක්වා තිරස් අතට තීරු හතරකට වෙන් කර එම තීරුව ඉතා අලංකාරවත් අන්දමින් නෙළුම් මල් යොදා තිබේ. මෙම නෙළුම් මල් අතර හිඩැස් පිරවීම සඳහා ක්මාවට සමාණ සංඛේතයක් ඇතුලත් කර ඇත.

පිටතට පෙනෙන කටාරමට යටින් වූ බිත්තිය

කටාරමට පහළින් මාලකයේ දේව රූප පන්තියක් හා බුද්ධ චරිතයේ සිදුවීම් කිහිපයක් නිර්මාණය කර තිබේ. මේ හැරුණ විට අනික් බිත්ති සියල්ලම සුදු පාටින් යුක්තය.

මින් පසුව මෙම සිතුවම් සඳහා යොදා ගත් වර්ණ පිළිබඳව අවධානය යොමු කරද්දී අනුරාධපුර යුගයේ දී ඉතා සීමිත වර්ණ ප්‍රමාණයක් යොදා ගත් අතර පොළොන්නරු යුගයේ දී ද සීමිත වර්ණ ප්‍රමාණයක් යොදා ගෙන ඇත. එහෙත් නුවර යුගයේ සිතුවම් සඳහා වර්ණ රාශියක් යොදා ගත් බව අපට පැහැදිලිය. මේ අනුව කොට්ටඉඹුල්වල විහාරයේ සිතුවම් සඳහා වර්ණ රාශියක් සංකලනයෙන් යොදා ගත් බව පැහැදිළිව පෙනේ. මෙහි දී යොදා ගත් වර්ණ මෙසේ සඳහන් කළ හැකිය.

* කළු
* රතු
* නිල්
* රෝස
* කොළ
* දුඹුරු
* සුදු
* කහ
* තැඹිලි

දැවයෙන් කළ පුදසුනේ සිතුවම් වල පසුතලය සඳහා රතු යොදා ගෙන ඇති අතර අළු, තද නිල්, ආදී වර්ණ යොදා ගෙන සිතුවම් නිර්මිතය. විවිධ පසුබිම් සඳහා විවිධ වර්ණ යොදාගෙන තිබේ. මෙයට අමතරව රහතුන් වහන්සේලා සැදැහැවතුන් වැනි උදවිය කහ පාටින් ද වැද්දන් නරකයෙහි සිටින මිනිසුන් සඳහා කළු හා දුඹුරු වර්ණයද යොදා ගෙන තිබේ. ප්‍රධාන පිළිමගේ සිවිලිමේ හිමාල අඩවියේ චිත්‍රය සඳහා බෝඩරය වර්ණ දෙකකින් යුක්ත වේ. පසුතලය සඳහා තද රතු වර්ණයත් රූප සඳහා දළ වර්ණයත් ය. ඇතැම් අවස්ථා වල රූප මනාව ඉදිරිපත් කිරීම සඳහා කළු වර්ණය යොදා ගෙන තිබෙනු දක්නට ලැබේ.

මෙවැනි වර්ණ රාශියක් යොදා ගැනීම ලංකාවේ වෙහෙර විහාර වල දක්නට ලැබෙන්නේ ඉතා විරළ ආකාරයෙන් බව කිව හැකිය. ජාතක කතා සඳහා තද වර්ණ යොදා රහත් රූප සක් පිඹින්නා අලංකාර කර ඇත. ඉදිරි පස බරාදයේ සිවිලිම හා පිට බිත්තිවල ඇති කල්පිත රූප වල 19 වැනි සියවසේ යොදා ඇති පොදු වර්ණ වන රතු, සුදු, නිල්, අළු,කොළ, දුඹුරු හා රෝස වැනි වර්ණ රාශියක් යොදා ගනී. මේ අනුව අපට පෙනී යන්නේ දඹුළු ලෙන් විහාර සිතුවම් වලට මදක් සමාන වූත් 18 වැනි සියවසේ මහනුවර යුගයේ රීතිය. රේඛා යෙදීම පසුතලය වර්ණ භාවිතය බොහෝ සෙයින් සමාන වුත් මහනුවර යුගයේ උඩරට සම්ප්‍රදායට අයත් ලක්ෂණ දරණ සිතුවම් හා පහතරට සම්ප්‍රදායට අයත් බටහිර ජාතීන්ගේ ඇදුම් පැළදුම් වලට සමාජ ලක්ෂණ දරණ සිතුවම් ද ඇති අතර 18 ,19 සියවස් වලට අයත් සිතුවම් කලාවක් කොට්ටඉඹුල්වල විහාරයෙහි දක්නට ලැබෙන බව කිව හැකිය.

මූර්ති සාධක හැඳින්වීම

මූර්ති සාධක හඳුන්වා දීමේ දී මූර්ති ප්‍රමාණයක් ඉතිරිව ඇති බව කිව යුතුය. දැනට පවතින මූර්ති එතරම් විනාශභාවත්වයට පත් වී නොමැති අතර අධ්‍යයනයට පහසු වන ආකාරයට ඉතිරිව ඇත. මෙම මූර්ති අතර බුදු පිළිම, දේව රූප, සඳකඩ පහණ හා සිරි පතුල හඳුන්වා දිය හැකිය.

හිඳි පිළිම

ලංකාවේ බුද්ධ ප්‍රතිමා වල ආරම්භය පිළිබඳ නිශ්චිත නිගමනයට පැමිණ නැත. එම නිසා මූලික මත දෙකක් ඉදිරිපත් ව ඇත.

* ඉන්දියාවට පෙර ක්‍රි.පූ 3 දී ලංකාවේ පිළිම ඇති වූ බව

* ඉන්දියාවට සමගාමීව ලංකාවේ ඇති වූ බව

ප්‍රථම මතය ඉදිරිපත් කරන ඩී. ටී. දේවේන්ද්‍ර හා සිරි ගුණසිංහ මූලාශ්‍ර ගත සාධක ඇසුරින් අදහස් දක්වති. මහා වංශයේ සඳහන් ආකාරයට ක්‍රි.ව 4 සියවසේ රජ කළ ජෙට්ඨතිස්ස රජතුමා දේවානම් පියතිස්ස රජු විසින් සකසන ලද හිදි පිළිමයක් ථූපාරාමය ලඟ තිබී ප්‍රාසීන තිස්ස පබ්බතයට ගෙන ගිය බව මහාවංශයේ හා ථූප වංශයේ සඳහන් ආකාරයට මහාථූපයේ ධාතු ගර්භය තුළ දුටුගැමුණු රජු බෝධියක් සාදා එය වටේට ආසන තුනක් තබා නැගෙනහිර දෙසට බුදු පිළිමයක් තැම්පත් කළ බව එය රනින් කළ බව පැවසේ. ක්‍රි.ව 1 සියවසේ වසභ රජු ( 67- 111) ශ්‍රී මහා බෝධිය ළඟ බුදු පිළිම රාශියක් සාදා තැම්පත් කළ බව කියවේ. කෙසේ වෙතත් කිසිදු වාර්ථාවක් සනාථ වන පුරා විද්‍යා සාධක හමු වී නොමැත.

දෙවැනි මතය ඉදිරිපත් කරන සෙනරත් පරණ විතාන හා ආනන්ද කුමාරස්වාමි දෙදෙනා මහ ඉලුක්පල්ලමේදී සොයා ගත් පිළිමය පිළිබඳකඹුරුපිටියේ වනරතන හා වල්පොල රාහුල හිමියන් මේ මත දෙක පිළිබඳව මිශ්‍ර අදහස් ඉදිරිපත් කර තිබේ. කෙසේ වෙතත් මිහිදු හිමියන් පැමිණීමෙන් පසු ක්‍රි.ව 1 සියවස හා ඒ ආසන්න පසු කාලය දක්වාම ඉන්දියාවේ වගේම ඇතැම් සං‍ඛේත බුදුන් වෙනුවට යොදාගත් බවට සාධක තිබේ.

කොට්ටඉඹුල්වල විහාරයේ හිදි පිළිම ගැන හඳුන්වා දීමේ දී වැඩි ප්‍රමාණයක් ඇත්තේ හිදි පිළිම වේ. ප්‍රධාන විහාරගේ ඇතුල් ගෘහයේ බටහිර පස බිත්තියට ආසන්නයේ දැව පුදසුන පසු පස හිදි පිළිමයක් වේ. මෙම පිළිමය මුචලිංග නාග දරණය සිහිපත් කරන පිළිමයක් ලෙස හඳුන්වා දිය හැකිය. පිළිමයේ උස අඩි 2 අඟල් 3ක් වන අතර පළල අඟල් 22 ක් පමණ වේ. පිළිමය ඒකාංශ පාරූපනයෙන් යුක්ත වන අතර නුවාවකින් සමන්විත වේ. සිව්රේ රැළි දිය රැල්ලක ආකාරයට යොදා ඇති අතර සිරස් පතක් යොදා තිබේ. කන් ශෛලිගත ආකාරයෙන් නිමවා තිබේ. දෙපා වීරාශනයේ වැඩ සිටින අතර දෙඅත් සමාධි මුද්‍රාවෙන් නිර්මිත වේ. මුචලංග නාග රාජයා දරඬුහයක් ගසා ගෙන සිටින අතර මුළු පිළිමයම ආවරණය වන සේ පසු පසින් පෙණය පුප්පාගෙන සිටී. මෙම නිර්මාණයම රුක්අත්තන වැනි බාල දැවයෙන් නිමවා ඒ මත ඉතා සියුම්ව අඹරා පදම් කර ගත් මැටි බදාම විශේෂයකින් දැව කොටස වැසී යන සේ නිර්මාණය අලංකාර ලෙස සාදා තිබේ. විහාර ගෙයි දකුණු බිත්තිය දෙසින් පෙලට සිත්තම් කරන ලද හා අඹන ලද බුදු රූ තුනකි. ඉන් එකක මුචලිංග නාග දරණය තුළ වැඩ සිටින බුදුන් වහන්සේ දැක්වේ.

පැරණි විහාර කුටියේ ඇති පිළිමය

ඉතා අලංකාරමත් ආසනයක් මත වැඩ හිදින මෙම ප්‍රතිමාව අඩි 2.5 ක් පමණ උස වන අතර පළල අඩි 2ක් පමණ වේ. ආසනය බොරූම් යොදා අලංකාරය වැඩි කර ගෙන තිබේ. පිළිමයේ සිරස්පතක් යොදා ඇති අතර කන් ශෛලිගතව නිර්මාණය කර තිබේ. ඒකාංශ පරූපනයෙන් යොදා ඇති සිවුරේ දිය රැල්ලක් අකාරයෙන් රැළි නිර්මාණය කර ඇත. ගාම්භීර ස්වභාවයකින් යුක්ත මුහුණෙහි මුඛයත් නාසයත් අතර තිරස් අතට විහිදුනු රේඛාවක් ඇති අතර යටි තොල විශාලවද උඩු තොල කුඩාවටද නිර්මාණය කර තිබේ. කෙස් ගැටිති ආකාරයට යොදා තිබෙන අතර චීවරයට පිටින් නුවාවද යොදා අලංකාර කර තිබේ. වීරාසනයෙන් යුක්තව පාද පිහිටුවා තිබෙන අතර සමාධි මුද්‍රාවෙන් යුක්තව දෙඅත් පිහිටුවා තිබේ. පිළිමයෙහි සිරස හා ගෙල පසු කාලයේ නිර්මාණය කර ඇති බව දැක ගත හැකිය. එයට හේතුව සොරුන් විසින් නිදන් හෑරීමේ ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් ලෙස කඩා බිද දමා තිබීම නිසාය. පිළිමයට පිටු පසින් රැස් වළල්ල නිර්මාණය කර තිබෙන අතර එය එතරම් අලංකාරවත් බවක් නොමැත.

පිළිමයට ඉහළින් ඉතා අලංකාර මකර තොරණක් ඇත. ප්‍රධාන පිළිම ගෙයි පසෙක ඇති එකලා කුටියේ මකර තොරණේ තරබාරු මකරුන් හා දිගු ගෙල සහිත කීර්තිමුඛ රූපය මුජපගේ මකර තොරණ සිහියට නංවන නමුත් මෙම විහාර දෙකෙහි සිත්තම් එකිනෙකට වෙනස්ය. මකරුන්ගේ මුඛයෙන් පිටවන ගිණි ජාලාව අලංකාර මල් යොදා එහි අලංකාරය වඩ වඩාත් ඔප් නංවා තිබේ. මකර තොරණේ කුළුණු බොරදම් හා මල් වලින් පුරවා නිර්මාණය කර ඇත.

වම් පස කුටියේ පිළිමය

මෙම කුටියේ දකුණු පසට වන්නට හිදි පිළිම තුනක් නිර්මාණය කර ඇති අතර ප්‍රමාණයෙන් සුළු සුළු වෙනස් කම් හැරුණු විට එකම ලක්ෂණ වලින් යුක්ත වන ආකාරයට සාදා තිබේ. දකුණු පස පිළිමය උස අඟල් 42 ක් වන අතර පළල අඟල් 40 ක් පමණ වේ. මැද ඇති පිළිමය උස අඟල් 56 හා පළල අගල් 51 කින් යුක්ත වන අතර වම් පස ඇති පිළිමය දකුණු පස පිළිමයේ ප්‍රමාණයෙන්ම වේ. මැද පිළිමය ප්‍රමාණයෙන් විශාලව නිර්මාණය කර තිබේ.

එතරම් උස නොවු ආසන මත පිළිම තුනම සාදා තිබේ. ඒකාංශ පරූපනයෙන් පොරවා ඇති චීවරය දිය රැලි ආකාරයෙන් සමන් විත වේ. ඝණ හුවාව පිළිම තුනෙහිම දැක ගැනීමට හැකිය. පාද වීරාසන ඉරියව්වෙන් පිහිටුවා තිබෙන අතර දෙඅත් වම් අත්ල මත දකුණු අත්ල පිහිටුවා ඇති සමාධි මුද්‍රාවෙන් තිබෙනු දැකිය හැක. මුහුණ භයංකාර පෙනුමකින් යුක්ත වන අතර නාසය හා මුඛය අතර තිරස් රේඛාවක් යොදා නිර්මාණය කරන අතරම යටි තොල ඝනව හා උඩු තොල කුඩාව දෙකන් ශෛලගත ස්වභාවයෙන් ද කෙස් කැරලි ආකාරයෙන් ද සිරස් හා මින් ඉහත දී සඳහන් කළ පිළිම වලට වඩා වෙනස් ආකාරයෙන් නිර්මාණය කර තිබෙණු දැකිය හැකිය. එය කුමන හේතුවක් නිසා වෙනස් වූවාද කියා පැවසීම අපහසුය. ඉහත පිළිම වල සිරස්පත අතේ ඇගිළි පහ ලං කර ගත් ආකාරයෙන් ද මේ පිළිම තුනේ සිරස් පත ඇඟිලි පහ ඈත් කර ගත් ආකාරයෙන් වැනි ස්වභාවයෙන් යුක්ත වේ. මෙහි දෙනෙත් දේදුනු හැඩයෙන් නෙත් වඩාත් විවෘත කර ගත් ආකාරයෙන්ද , ගෙල හා හිස සිලින්ඩරාකාර ස්වභාවයෙන් ද , නිකට වඩාත් ඉදිරියට මතු වන ආකාරයෙන් ද නිර්මාණය කර තිබේ. මෙම පිළිම තුනද බාල දැවයෙන් මූර්තිමත් කර අඹරා පදම් කර ගත් මැටි විශේෂයකින් පිට ඔපවත් කර තිබේ. පිළිම තුනෙහිම මදක් පසු පසින් බිත්තියෙහි රැස් මාලා නිර්මිත වේ.

දකුණු පස කුටියේ සූවිසි බුදුවරයන්

මෙම කුටිය තුළ බුදුපිළිම විසිහතරක් නිර්මාණය කර තිබෙන අතර ප්‍රථම බුදු පිළිමය හිටි පිළිමයක් වන අතර ඉතිරි පිළිම විසිතුනම හිදි පිළිම වේ. මෙම පිළිම නිරිමාණය කළා යයි පවසන්නේ මලිදූව ඝනනන්ද හිමි විසිනි. දෙවනි පිළිමයේ සිට පිළිම 22 ක් එකම ආකාරයට නිමවා ඇති අතර විසි වැනි සිඛිත නම් බුදු පිළිමයේ වෙනසක් දැක ගත හැකි වේ.

පිළිමයක උස අඟල් 33 ක් පමණ වේ. දෙපා පිහිටුවීමේ දී යටි පතුල් දෙකම පෙනෙන ආකාරයට පිහිටුවා දෙඅත් පිහිටුවීමේ දී සමාධි මුද්‍රාවෙන් යුක්ත වන ලෙස නිර්මිතය. එතරම් උස නොවූ ආසනයක් මත වැඩ හිදින පිළිම වහන්සේ සිවුර ඒකාංශ පාරුපනයෙන් තනි රේඛාවක් මතු වන ආකාරයට අනුරාධපුර යුගයේ සිවුරු රැලි ශෛලියට නිර්මිතය. ගෙල සහ මුහුණ නිර්මාණයේ දී සිලින්ඩරාකාර ආකාරයට ද නිකට මතු වන ආකාරයටද නෙත් ඉතා විශාලවද නිර්මිත වේ. ඇහි බැම දේදුණු හැඩයක් ගන්නා අතරම කන් ශෛලී ගත ස්භාවයක් ගනී. මෙහි ඇති සෑම පිලිමයකම සිරස් පත කොතක ආකාරයෙන් නිර්මාණය කර තිබේ. පසු පසින් හේත්තු වීම සඳහා ආසනයක් සාදා ඇති අතර බුදු රැස් මාලා ඉතා කළාත්මක ආකාරයට සාදා තිබෙනු දැකිය හැක. විසි වැනි පිළිමයේ දෙපා හා සිරස් පත මෙහි පිළිම වලට සමාන වන අතර සිවුරේ රැළි, දෙඅත්, මුහුණේ ස්වභාවය ආදිය වම් පස කුටියේ පිළිම තුනට සමාන වේ. මෙහි එක් පිළිමයක් පමණක් මෙලෙස නෙලන්නට ඇත්තේ කුමටද කියා සාධක හමු වී නොමැත. අපට සිතිය හැකි කරුනු කිහිපයක් මෙම පිළිමය වෙනත් ස්ථානයකින් ගෙන විත් මෙම ස්ථානයේ තැම්පත් කළාය. නැත්තම් මෙහි පිළිම සෑදීමට පෙර මේ පිළිමය මෙම ස්ථානයේම තිබුණාද, එසේත් නොමැති නම් මෙම පිළිමය වෙනත් කළා කරුවෙකු අතින් නිම වුවා ද කියා ප්‍රශ්න රාශියකට මුහුණ දීමට සිදු වේ. මෙම සෑම පිළිමයක් ඉදිරිපිට ම ගිහියෙකුගේ හෝ සතෙකුගේ මූර්තියක් දැක ගත හැකිය. මේ සෑම පිළිමයක් ඉදිරියෙන්ම පිළිම හඳුන්වා ඇති ආකාරය පහතින් දක්වා ඇත.

* දීපංකර – සුමේධ තවුසා පළමු විවරණය ලැබු පරිදි
* කොන්ඩඤ්ඤ නම් බුදු එකල අප බෝසත් විජිතාවි නම් චක්‍රවර්ති රජව
* මංගල නම් බුදුන් එකල අප බෝසත් සුරුචි නම් බ්‍රහ්මණව
* සුමන නම් බුදු එකළ අප බෝසත් අතුල නම් දව්‍ය නාගරාජව
* රේවත නම් බුදුන් එකල අප බෝසත් අතිදේව නම් බ්‍රහ්මණව
* සෝභිත නම් බුදු එකල අප බෝසත් සුජාත නම් බ්‍රහ්මණව
* අනෝමදස්සි නම් බුදු එකල අප බෝසත් මහේශාක්‍ය නම් යක්ෂ සේනාධිපතිව
* පදුම නම් බුදුන් එකල අප බෝසත් රවිරංග සිහරාජව
* නාරද නම් බුදුන් එකල අප මහා බෝසත් ධ්‍යාන ලාභී තාපසව
* පියමතුරා නම් බුදුන් එකල අප බෝසත් ජටිල නම් මගරැවටිව
* සුමේධ නම් බුදුන් එකල අප බෝසත් උත්තර නම් මානවකව
* සුජාත නම් බුදුන් එකල අප බෝසත් චක්‍රවර්තී රජව
* පියදස්සී නම් බුදුන් එකල අප බෝසත් කාශ්‍යප නම් බ්‍රහ්මණ මානවකව
* අනෝමදස්සී නම් බුදුන් එකල අප බෝසත් සුෂි නම් බ්‍රහ්මණ තාපසව
* දම්ම් දස්සී නම් බුදුන් එකල අප බෝසත් ශ්‍රක්‍ර දේවේන්ද්‍රව
* සිද්ධාර්ථ නම් බුදුන් එකල අප බෝසත් මාපාල නම් තාපසව
* තිස්ස නම් බුදුන් එකල අප මහා බෝසත් සුජාත නම් තාපසව
* ඵුස්ස නම් බුදුන් එනල අප බෝසත් විජිතාවි නම් රජව
* විපස්සි නම් බුදුන් එකල අප බෝසත් අතුල නම් දිව්‍ය නාගරාජව
* සිඛිත නම් බුදුන් එකල අප බෝසත් අරින්ද නම් රජව
* වෙස්සභු නම් බුදුන් එකල අප බෝසත් සදසීන නම් රජව
* කකුසඳ නම් බුදුන් එකල අප බෝසත් ඛේම නම් නරපති පැවදිව
* කෝනාගම නම් බුදුන් එකල අප බෝසත් පර්මක නම් නරේන්ද්‍රව
* කාශ්‍යප නම් බුදුන් එකල අප බෝසත් ජෝතිපාල නම් බ්‍රහ්මණව විවරණ ගත් සේක

හිටි පිළිම

ප්‍රධාන විහාර ගෙයි බටහිර පස බිත්තියට ආසන්නයේ දැව පුදසුන පිටුපසින් මුචලිංග නාග දරණයට දෙපැත්තතේ හිටි පිළිම තුනක් වේ. මුචලිංග නාග දරණයට වම් පැත්තේ හා දකුණු පැත්තේ ඇති පිළිම දෙකෙහි නිර්මාණ ලක්ෂණ සමාන වේ. පිළිම දෙකම පද්ම පීඨයක් මත වැඩ සිටි. සමභංග ඉරියව්වෙන් පිළිම දෙකම නිර්මාණය කර තිබේ. ඒකාංග පරූපනයෙන් ඇති අතර චීවරය දිය රැල්ලක ආකාරයෙන් නිර්මිතය. ඝණ නුවාව පිළිම දෙකේම වේ. මුහුණෙහි සිනහවක් දැක ගැනීමට නොමැති අතර ගෙල හා මුහුණ සිලින්ඩරාකාර ස්වරූපයක් ගනී. යටි තොල විශාල වන අතර උඩු තොල කුඩා වේ. ඇස් විශාලව ඇති අතර ඇහි බැමි දේදුනු හැඩයෙන් යුක්තය. දෙකන් ශෛලිගත ස්වභාවයක් ගනී. දකුණු පස පිළිමය උස අඩි 5ක් පමණ වන අතර එහි සිරස් පත තිබුණු ලක්ෂණ ඇති අතර එය දැනට ඉතිරිව නොමැත. වම් පස පිළිමය අඩි 4 අඟල් 6ක් පමණ උස වන අතර එහි සිරස් පත වේ. එම සිරස්පත කොත් කැරැල්ලක ආකාරයෙන් නිර්මාණය කර ඇත. වම් අත වැලමිට ළඟින් නමා ඉහළට ඔසවා සිටින විට වැල මිට ළග සිට දෙපා දක්වා ඉතා අලංකාරමත් ආකාරයෙන් සිවුරේ රැල්ලක් නිර්මාණය වී ඇත. ඉහලට එසවූ අතෙහි අඟිලි හකුලා ගෙන සිටින අතර දකුණු අත වැල මිට ළඟින් නමා අභය මුද්‍රාවෙන් සිටී.

වම් පස පිළිමය ආසන්නයේ ම ඉතා ගාම්භීර පිළිමයක් ඇති අතර එහි උස අඩි 4ක් පමණ වේ. පද්ම පීඨයක් මත වැඩ සිටින පිළිමය සමභංග ඉරියව්වෙන් ඇත. මෙහි වම් අත පහළටම නෙලවා ඇති ආකාරයට නිර්මිත දකුණු අත අභය මුද්‍රාවෙන් සිටී. ඒකාංශ පාරූපයෙන් යුක්ත වන පිළිමයේ සිවුරේ අමුතුම ආකාරයට නිර්මිතය. එයත් දිය රැල්ලක ආකාරයෙන් සාදා ඇතත් අනෙක් පිළිම වල රැළි දැක ගැනීමට හැකිය. නුවාවක් වන අතර ගෙල හා හිස සිලින්ඩරාකාර වේ. යටිතොල විශාලවද උඩු තොල කුඩාවටද කන් ‍ශෛලිගතව ද නිර්මිත වන අතර සිරස් පතක්ද වෙයි.

මෙම පිළිම තුනම නිර්මාණය කිරීමේ දී උපයෝගී කර ගෙන තිබෙන්නේ එකම අමු ද්‍රව්‍ය බව කිව හැකිය. දැවයෙන් අවශ්‍ය රූපය නෙලා ගෙන ඉන්පසුව ඉතා සියුම්ව අඹරා පදම් කර ගත් මැට්ටකින් දැව මූර්තිය වටේ ආලේප කර අවශ්‍ය හැඩය ලබා ගෙන තිබේ.

සූවිසි බුදු කුටියේ ප්‍රථම දීපංකර බුදුන්ගේ මුර්තිය හිටි පිළිමයක් ලෙස නිර්මාණය කර තිබේ. මේ පිළිමයේ ඒකාංශ පාරූපනයෙන් යුක්ත වන අතර සිවුරේ රැළි රහිත වේ. උස අඟල් 53 ක් පමණ වේ. සිරස් පත ඇති අතර දකුණු අත ඉදිරියට දිගු කර එක් ඇඟිල්ලක් ඉදිරියට දක්වා අනිත් ඇඟිලි තුන නමාගෙන සිටී. මෙම පිළිමය සඳහා අමුද්‍රව්‍ය ලෙස තනිකරම මැටි බදාමයෙන් නිර්මාණය කර තිබේ.

සැතපෙන පිළිම

සැතපෙන පිළිම අනුරාධපුර යුගයේ හා පොළොන්නරු යුගවලදී ඉතාමත් අඩු ප්‍රමාණයක් නිර්මාණය විය. එහෙත් නුවර යුගයේ දී ඉතා වැදගත් ස්ථානයක් ලෙසට සැතපෙන පිළිම වලට හිමි විය. ගල් ගුහා තුළ පිළිම විශාල ලෙස නිර්මාණය වන්නට විය.

කොට්ටඉඹුල්වල විහාරයේ ගර්භ ගෘහය තුළ දකුණු දිශාවට වන්නට ගල ආරම්භ වන ස්ථානයේ අඩි 3ක පමණ ආසනයක් මත ඉතා විශාල සැතපෙන පිළිමයක් නිර්මාණය වී තිබේ. ආසනය නිර්මාණයේ දී ගල් ගඩොල් හා මැටි භාවිතා කර දකින පුද්ගලයාට ප්‍රියභාවයක් උපදවන ආකාරයට සාදා තිබේ. ඒ මත පිළිම වහන්සේ නිර්මාණය කර ඇත. සම්පූර්ණ පිළිමයේ උස අඩි 45 ක් පමණ වන අතර පළල අඩි 8ක් පමණ වේ. සිරස්පත ඉතා කලාත්මක ආකාරයට සාදා තිබේ. සිරස්පත නිර්මාණයේ දී දැවයෙන් සාදා ඒ මත මැටි බදාමය ගා අලංකාර කර තිබේ. මෙය අඟල් 34 පමණ උස වේ. සිරස්පත සාදා පිළිමයේ හිස මුදුනින් ඇතුළට සවි කර තිබේ. හිස අඩි 6ක් පමණ උස වේ. ඇස් ඉතා විශාලව පිහිටුවා ඇති අතර ඇහි බැම් දේදුණු හැඩයට සාදා තිබේ. යටි තොල මහතවද උඩු තොල කුඩාවටද සාදා ගෙන ඇති අතර දෙකන් ශෛලිගත ක්‍රමයටම සාදා තිබෙණු දැකිය හැකිය. මුහුණෙහි එතරම් භියකරු බවක් දැක ගැනීමට නොහැක. කෙස් කැරලි ආකාරයට නිර්මාණය කර ගෙන තිබේ. ගෙල හා හිස සිලින්ඩරාකාර ආකාරයට නිර්මිත වේ. දකුණු ඇලයෙන් සැතපී සිටින අතර දකුණු අත කොට්ටය සහ හිස අතර රඳවා ගෙන සිටී. මෙහිදී කොට්ටය හිසෙහි බරට එබුණු ආකාරයක් දැක ගත හැකිය. එය කලා කරුවා අධ්‍යයනයක් ඇතුව කළ බව සිතිය හැකිය. හිස මදක් ඉහළට එසවුණු ආකාරයෙන් සිටින අතර වම් අත වම් ඇලපත දිගේ රඳවා ගෙන සිටී. චීවරය ඒකාංශ පාරූපනයෙන් යුක්ත වන අතර ඝණනුවාවක් නිර්මාණය කර තිබෙණු දැකිය හැක. චීවරයේ රැළි දිය රැල්ලක ආකාරයෙන් නිමවා ඇත. දෙපා පිහිටුවීමේ දී ඇඟිලි එක සමානව පිහිටුවා තිබේ. සමහර පිළිම වල දෙපා පිහිටුවීමේ දී අසමානව පිහිටුවා ඇත. මේ සඳහා උගත් මත දෙකක් වේ.

එනම්
* ඇඟිලි සමානව පිහිටුවීම බුදුන්ගේ සැතපීම හුවා දක්වයි.
* ඇඟිලි අසමානව පිහිටුවීම බුදුන්ගේ පරිනිර්වානය දක්වයි.

ඒ කෙසේ වෙතත් සමහර උගත්තු ඇඟිලි අසමානව තබා ගැනීමෙන් දක්වන්නේ බුදුන්ගේ සැතපීම බව පවසයි. එයට හේතුව සැතපීමේ දී දෙපාවල එකම අවයව එකට තබා ගැනීම අපහසු නිසා ඇඟිලි මදක් පසු පසට වන ආකාරයට තබාගෙන සිටී. කෙසේ වෙතත් මේ සඳහා පැහැදිලි හා නිවැරදි මතයකට එළඹ නොමැති නිසා කුමක් හරිද කුමක් වැරදිද කියා පැවසිය නොහැක.

මෙම පිළිමයේ දෙපා පිහිටුවීමේ දී වම් පාදයට වඩා මදක් කුඩා වන ආකාරයට දකුණු පාදය නිමවා තිබේ. එයට හේතුව වම් පාදයේ බර වැටීම නිසා දකුණු පාදය එබී ඇති බව පෙන්වීම සදහායි. එහෙත් අනුරාධපුර යුගයේ දී දෙපා එක සමානව නිර්මාණය කර තිබේ. මෙය තාක්ෂණයේ දියුණුවක් ලෙස පෙන්වා දිය හැක.

පිළිමය නිර්මාණයේ දී අමුද්‍රව්‍ය ලෙස ගල් ගඩොල් හා මැටි භාවිතයෙන් නිර්මාණය කර ගෙන තිබේ. චීවරයේ රැළි නිර්මාණයේ දී ඝණකම ඇති නූලක් භාවිතා කර රැල්ල අවශ්‍යය ආකාරයට නූල තබා ඒ මත නූල හා පිළිමය අතර සබඳතාව ඇති කිරීම සඳහා නූලට උඩින් තීන්ත ආලේප කර තිබේ.

විශ්ණු දේව ප්‍රතිමාව

ගර්භ ගෘහයට වම් පසින් ඇති උප කුටිය තුළ නැගෙනහිර පසට වන්නට මේ ප්‍රතිමාව නිර්මාණය කර තිබෙණු දැකිය හැකිය. මෙය උස අඟල් 80 ක් පමණ වේ. වාහනය වන මොණරාගේ පිටෙහි නැග සිටී. අත් දෙකත් ඉදිරියට දිගු කර ඇති අතර වම් අත්ල පහළට සිටින සේද දකුණු අත්ල ඉහළට සිටින සේ ද නිමවා තිබේ. මෙයට අමතරව එක් පැත්තක අත් තුන බැගින් තවත් අත් හයක් නිමවා තිබේ. යටි කය ඉතා අලංකාර වස්ත්‍රාභරණයෙන් සරසා තිබෙන අතර උඩු කය වස්ත්‍ර නොමැති අතර ආභරණ විශාල ප්‍රමාණයකින් සරසා තිබේ. හිසට ඉතා අලංකාරවත් ඔටුන්නක් පළඳවා ඇති අතර දෙකන් සඳහා රවුම් කරාඹු දෙකක් පළඳවා තිබේ. මෙම පිළිමයට පසෙකින් වානරයෙකුගේ රූපයක් නිර්මාණය කර ඇත. මෙයද දැවයෙන් නිර්මාණය කර ඒ මත මැටි බදාම ආලේප කර අලංකාරය ගෙන තිබෙණු දැකිය හැක.

ශ්‍රී පතුල

ලංකාවේ හා ඉන්දියාවේ බුදු හිමියන් පිරිනිවන් පෑමෙන් පසු ශත වර්ෂ ගණනාවක් යන තෙක් පිළිම නිර්මාණය නොවීය.එම කාලය තුළ බුදු හිමියන් වැදීම සදහා සංඛේත රාශියක් වූහ. ඒ අතරින් විශේෂ වැදගත් ස්ථානයක් ශ්‍රී පතුලට හිමි විය.

කොට්ටඉඹුල්වල විහාරයට බටහිර දෙසින් අඩි 200 ක් පමණ දුරින් ශ්‍රී පතුල කුඩා ගල් කුලක් මත කොටා තිබේ. මේ ගල මුදුණ වර්ග අඩි 392 පමණ වේ.

ශ්‍රී පතුලේ ප්‍රමාණය අඩි 5 අඟල් 9 ක් හා පළල අඩි 2 අගල් 11 ක් පමණ වේ. විහාරයෙන් බටහිර දෙස ගලක කොටු සිරිපතුලකුත් ඇති බව සපරගමු දර්ශනයේ සඳහන් කරයි. මෙහි වම් පතුල දැක ගත හැකි අතර ඇඟිලි අගල් 10ක් පමණ වන සේද අනෙක් ඇගිලි දිග අගල් 19 ක් හා පළල අඟල් 7 පමණ වන සේ නිර්මිතය. ශ්‍රී පතුලට ආසන්නයේ තුන් පැත්තකින් අඩි 2 උස අඟල් 10ක් පමණ වන හතරැස් ගල් වලින් අඩි 2ක් පමණ උස වන සේ බැම්මක් නිර්මාණය කර තිබෙනු දැකිය හැකිය. මෙය ශ්‍රී පතුලේ ආරක්ෂාව සඳහාත් ශක්තිමත් බව වැඩි වීම සඳහාත් සාදන්නට ඇතැයි සිතිය හැක. බැම්මේ දිග පළල අඩි 8 x 6 ක් පමණ වේ. 1808 දී ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් කරවන ලද කෘත්‍යයක් බැව් කොට්ටඉඹුල්වල තඹ සන්නසෙහි සඳහන් වේ.

සඳකඩ පහන

සඳකඩ පහන සංවර්ධනයට පත් වු කලා කෘතියක් වශයෙන් සඳහන් කළ හැකිය. අනුරාධපුර යුගයේ දී ඉතාම හොඳ සඳකඩ පහන් නිර්මාණය වූ අතර පොළොන්නරු හා දඹදෙනි කුරුණෑගල යුග වලත් නුවර යුගයේ දීත් සංවර්ධනයට පත් විය. කොට්ටඉඹුල්වල ඇති සඳකඩ පහන පොළොන්නරු නුවර යුග දෙක අතර යුගවල ඇති වූ සඳකඩ පහනට නෑකම් කියන එකක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙය පිහිටා තිබෙන්නේ විහාරයට උතුරු දෙසින් ඇතුළු විය හැකි ප්‍රධාන දොරටුව අභියස පඩිපෙළ පාමුලය.

මෙය මුලින්ම කුඩා වෘන්ත දෙකක් ඇති වන ආකාරයටත් ඉන් පසුව අර්ධ වෘන්තය ඇති වන ආකාරයට සාදා අර්ධ වෘත්තය මත වෘත්ත පහක් පමණ සිටින සේ ගලින් නිමවා තිබේ. මෙහි දිග පළල අඟල් 56×46 ක් වේ. හයවෙනි සිරි පැරකුම්බා රජු කොට්ටිඉඹුල්වල රජ මහා විහාරයද මේ රජු විසින් ප්‍රතිසංස්කරණය කරවා අලංකාර පිය ගැට පෙළක් තැනවූයේය. මේ පියගැට පෙළ දෙපස කුඩා ගල් කණු දෙකක රැල් අතර කොටා තිබෙණ ගෙවී ගිය ශිලා ලිපි දෙක පිය ගැට පෙළ කරවූ මේ අජුගේම ලේඛනයක් විය හැකි බව ඤානවිමල හිමියන් පවසයි. පඩිපෙළ කරවූ රජු හයවෙනි පැරකුම්බා නම් සදකඩ පහන කරන්නට ඇත්තේ මෙම රජු බව සිතිය හැකිය. එසේ නම් මේ සඳකඩ පහන කෝට්ටේ යුගයේ නිර්මාණය වු කලා කෘතියක් බව කිව හැක. එහෙත් පැහැදිළි හා පුරා විද්‍යාත්මක සාධක හමු නොවේ.

මෙම විහාරයේ ඇති සිතුවම් නුවර යුගයට බොහෝ සෙයින් සමාන වූත් එම සිතුවම් වලින් වෙනස් වූත් ප්‍රාදේශීය ලක්ෂණ වලින් යුතු සිතුවම් ප්‍රමාණයක් ඇති බව නිගමනය කළ හැකිය.

මූර්ති අධයනයේ දී ඒවා බොහෝ සෙයින් නුවර යුගයේ ඇති දිය රැලි ආකාරයට සිවුරේ රැලි නිමවා තිබේ. මුහුණු වල ලක්ෂණ ආදිය බොහෝ සෙයින් නුවර යුගයේ පිළිම වලට සමාන වේ. සූවිසි බුදුවරයන්ගේ පිළිම විසිතුනක් අනුරාධපුර යුගයේ පිළිම ලක්ෂණ ගනී. එහෙත් මේවා නිර්මාණය කර තිබෙන්නේ අනුරාධපුර යුගයේ නොවන බව පැහැදිළි වේ. කෝට්ටේ යුගයේ හයවෙනි පරාක්‍රමබාහු රජු විසින් සදකඩපහන නිර්මාණය කළ බවත් 1808 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ශ්‍රී පාද ලාංඡනය කරවූ බවත් කිව හැකිය. මේ අනුව අපට නිගමනය කළ හැක්කේ කොට්ටේ හා නුවර යුගයේ දී මූර්ති නිර්මාණය කළ බවයි.

බළන්ගොඩ සිරි දම්නද පිරිවෙන

දම්නඳ පුරාණය

සකල සත්වයන් වෙත පතල මහ කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් විශ්වයේ අද්විතීය අධ්‍යාපනඥයා බවට පත් ”තිලෝගුරු” යන සම්මානයෙන් පිදුම් ලැබූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ මුවින් විකසිත වූ ඒ සුමිහිරි වදන් අදින් වසර දෙදහස් පන්සිය හතළිස් තුනකට පෙරාතුව වදහල ප්‍රායෝගික දෙසුම් උවද විසිඑක්වන සියවසේ එළිපත්තට පා නගමින් සිටින වත්මන් ලොවටද එකසේ සරිලන අමිල භාෂිතයන් සේ අපි අගයමු. ප්ලේටෝ, ඇරිස්ටෝටල්, පියාජේ, බ්ලූම් මහත්මා ගාන්ධි, නියරෙරේ ආදී සුවිශේෂී අධ්‍යාපනඥයන් සුපරික්ෂාවට යොමු වූ විධිමත්, නොවිධිමත් හා අවිධිමත් අධ්‍යාපන ක්‍රම සම්භාවනාවට පත්ව ඇත. එහෙත්, පර්පූර්ණ යාව ජීව අධ්‍යාපනයටද ඉදිරියෙන් සිටින බුදු සමයේ ඉගැන්වීම් පිළිබඳව ප්‍රමාණවත් පරික්ෂාවක් නොකරන්නේ මන්දැයි ගැටළුවකි.

සම්බුදු පහසින් ප්‍රමුදිත වූ මේ හෙළැදිව මිහිදු මහ රහතන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වයෙන් හා උපදේශනයෙන් ප්‍රායෝගිකව ම ක්‍රියාත්මක වූ යාවජීව අධ්‍යාපන ක්‍රමයකට සකලාංගයන්ගෙන් ම සරිලන අයුරින් කාලෝචිත පසුබිමක් නිර්මාණය වී තිබිණි. යුගයෙන් යුගයට පරිණාමය වෙමින් බෞද්ධ ශිෂ්ටාචාරයෙහි විවිධ අංගෝපාංගයන්ගෙන් පෝෂණය ලබමින් අනේකවිධ විපර්යාසයන් ඔස්සේ වර්ධනය වුණු ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ ගමන්මග අපමණ අත්දැකීම් හා අභියෝගයනට මුහුණ දෙමින් මේ දක්වා දිගු ගමනක යෙදී ඇති අයුරු ඉතිහාසයෙන් තහවුරු කෙරේ. තෙ‍ළෙස්වන සියවස දඹදෙනි අවධියේදී සමනල අඩවිය ආශ්‍රිතව පැවති පලාබද්ගල ප්‍රතිරාජ මහ පිරිවෙණ ආරාමික අධ්‍යාපනයේ සුවිශේෂී සන්ධි ස්ථානයක් සේ සැළකීමට පුළුවන.

දහනවවන සියවස දක්වා ම හෙළදිව ආරාමික අධ්‍යාපනය තුළින් හෙළයට ම ආවේනික සංස්කෘතිය හා අනන්‍යතාවය ද තහවුරු කොට ඇත. බෞද්ධ භික්ෂුව ගිහි පැවිදි ජීවන ප්‍රතිපද්‍රව අර්ථවත් කිරීමෙහි ලා පිරිවෙන නැමති සුවිශේෂ අධ්‍යාපන මධ්‍යස්ථානය තුළින් ඉටුකොට ඇත්තේ අමිල කාර්යභාරයකි. මහනුවර අවධියේ පහළ වූ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයාණන් වහන්සේ ගේ පා සටහන් ඔස්සේ යමින් පැල්මඬුලු රාජමහාවිහාර පිරිවෙණ, මාළිගාකන්දේ විද්‍යෝදය පිරිවෙණ, රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙණ, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණ ආදී විධිමත් අධ්‍යාපනික පීඨයන් තුළින් බෞද්ධ අධ්‍යාපනය හා සංස්කෘතියේ පුණර්ජීවනය ඔස්සේ සමස්ථ ශ්‍රී ලංකාවේ ද අන්‍යරටවල් කිහිපයක ද බෞද්ධ අධ්‍යාපනයෙන් ඔපවත් වූ සංකෘස්තියක් බිහි විය.
ජාතික, සාමයික හා සාමාජික ක්ෂේත්‍රයන් ඔස්සේ විප්ලවීය අධ්‍යාපනික පෙරළියක් සබරගමු පෙදෙසෙහිද සිදුවුනු බව සමීපාතිතය අපට පෙන්නුම් කරයි. අවිඳු අඳුරු ගනඳුරු දුරලනු වස් පරහිතකාමිත්වයෙන් දැල් වූ සුපසන් පහන් සිලක්, ප්‍රාග් ඓතිහාසික මානව ශිෂ්ටාචාරයකට සාධක සැපයූ බලන්ගොඩ පුරවරයෙහි දැල්විණි. ඒ විශ්වකීර්තිධර බුද්ධාංකුර අති අතුම් බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය සංඝ රාජෝත්තමයාණන් වහන්සේය. දහනව වන සියවසේ අග බාගයේ දී බලන්ගොඩ පුරවරය නිජබිම කොට ගනිමින් ජන්ම ලාභය ලද එතුමාණෝ උදාරතර සත් ක්‍රියාවක යෙදුනාහුය. එනම් අධ්‍යාපනික, සමාජික හා සංස්කෘතික අවශ්‍යතාවන් සපුරාලනු වස් සදා නොනිමෙන විදු පහන් සිලක් වන් බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙණ නැමැති තක්ෂිලාව නූතනයට ද නූපන් හෙටට ද වැඩක්ම වන සේ ස්ථාපිත කිරීමය. එවන් වෙහෙසකර දිගු ගමනක සුලමුල කෙබඳු දැයි අතිඋත්තරීතර සඟරජ උතුමාණන් වහන්සේගෙන් අසා විමසා දැන ගතිමු. එසේ අපගේ සවනට යොමු වූ තොරතුරු වලින් අංශු මාත්‍රයක් මෙසේ ”දම්නඳ පුරාණය” ලෙසින් ඓතිහාසික අනුරපුර සෙල්ලිපියක නොමැකී සටහන් වූ වදන් වැලක් සේ සටහන් කරමු.

ශ්‍රී ධර්මානන්දයේ නිර්මාතෘ අනඳමෙත් සඟරජ සමිදුන් වැලිපිල්ලේ අකුරු කුරුටු ගා පන්හිදෙන් හා පෑනෙන් සටහන් තබමින් පරිගණකය පරිහරණය දක්වා ද මූලික පිරිවෙන් පෙළ පොත සිට ගැඹුරු ත්‍රිපිටකය දක්වා ද ප්‍රඥාලෝකය ඔස්සේ නා නා විධ කාර්යභාරයන් ඒ ඒ අවස්ථාවට අදාළ වන අයුරින් ක්‍රියාත්මක කළ අයුරු වංශකතාවක් සේ දැක්විය හැකිය. බලන්ගොඩ පිරිමි පාසල ( කුමාර විද්‍යාලය) පමණකි. උන්වහන්සේට සිප්සල වූයේ. කිසිදු සරසවියකින් අධ්‍යාපනයක් නොලද උන්වහන්සේ රොනට වන් බමර කැලක් සේ සරසවිය සමීප වීමෙන් නොසිතූ නොවිරු සම්මානයන්ගෙන් සම්මානනීයත්වයට පත්වූහ. එය අතිශයින් දුර්ලභ සම්භාවනීය බුදුකුරු දම් පිරූ උතුමෙකුට ආවේණික සුවිශේෂ ලක්ෂණයක් බව පෙර, පර දෙදිග මහ වියතුන් ගේ මතයයි. එබැවින්, පරාර්ථ චර්යාවෙහි නියැ‍ළෙමින් සිය ජන්ම භූමිය වෙත කුළුනු සිතින් අවධානය යොමු කළහ. එතුමාගේ නැණ ගුණ දෙක්හි පිරිපුන් බව සංකේතවත් වෙමින් කොළොම්පුර ආනන්ද මහා විද්‍යාලයේ සුවිශේෂ ආචාර්යවරයෙකු වශයෙන් ද කටයුතු කළහ. කලින් සරණගවේසි යනුවෙන් හැඳින්වූ එතුමා මේ වන විට ආනන්ද මෛත්‍රෙය නමින් ප්‍රකට වූහ. දාමහණ ශ්‍රී ධම්මානන්ද, දෙණිහේනේ ශ්‍රී සීලානන්ද, යටිපස්ගමුවේ ශ්‍රී සුවිනීත ආදී යතිවරුන්ගේ ආශිර්වාදය ලබමින් එතෙක් පැමිණි ගමන් මග වඩාත් සාරවත් අයුරින් හෙළි පෙහෙළි කළහ.

එම අවධියෙහි අප නාහිමියෝ ද ජාතික අනන්‍යතාවයට නිදහස් සටනට සහ බොදු සබැදියාවට ද පණ පොවමින් උඩුමුල්ලේ ශ්‍රී නන්දාරාම හා තදාසන්න විහාරයන්හි ආගමික, ශාසනික හා සංස්කෘතික සබඳතා පවත්වා ගනිමින් සිටියහ.

1930 හි වෙසක් මස දිනෙක බලන්ගොඩ තුඹගොඩ සංඝික මහා සුධර්මාරාමයෙහි පැවැති සාකච්ඡාවෙකි. යළි එම මස 21 වන දින විහාරස්ථානයට පැමිණි බාන්ස් රත්වත්තේ මහදිසාව හා සුධර්මාධෘශ්වර කොටාමුල්ලේ ශ්‍රී මේධංකර මහානායක ස්වාමින්ද්‍ර ප්‍රමුඛ ගිහි පැවිදි දෙපිරිසක් අතර තවත් හමුවකි. කාලීන අවශ්‍යතාවයක් වූ ගිහි පැවිදි අධ්‍යාපනය ප්‍රතිෂ්ඨාපනය සඳහා නොපමාව බලන්ගොඩ පුරවරයෙහි පිරුවනක් බිහි කිරීමේ අගය ආනන්ද මෛත්‍රෙය යතිඳුන් වෙත යොමු කොට සිටියහ. එය අත්‍යවශ්‍ය ම අයදුමක් වූ බැවින් අප නාහිමිපාණෝ ද එම අදහසට කුළුණු සිතින් අනුමැතිය පළ කළහ. ආරම්භයක් වශයෙන් සංඝික සුධර්මාරාම විහාරස්ථානයෙහි පිරිවෙණ ආරම්භ කිරීමට තීරණය කෙරිණි. එක්දහස් නවසිය තිහේ ජූලි මස තුන්වන දින පෙරවරුවේ උදා වූ සුභ මොහොතින් ගිහි පැවිදි සිසුන් කිහිපදෙනෙකුට අත් පොත් තැබිණි. සම්භාවනීය ගිහි පැවිදි දෙපිරිසකගේ සහභාගිත්වයෙන් එම මස පස්වැනි දින පිරිවෙණ විධිමත් අයුරින් ආරම්භ කෙරිණි. අමරපුර මහා නිකායේ රාස්සගල විහාර පාර්ශවයේ මහා නායක පදවියක් දැරූ රාස්සගල ශ්‍රී සුදර්ශන රන්කොත් විහාරාධිපති ව වැඩ විසූ අතිපූජ්‍ය බෝධිමළුවේ ශ්‍රී විමලජෝති මහා නාහිමිපාණෝ ද මහවලතැන්නේ ශ්‍රී චන්ද්‍රෙ‍ශේඛර මුදලින්රාමාධිපති ව වැඩ විසූ අති පූජ්‍ය දාමහණ ශ්‍රී ධම්මානන්ද මහා නාහාමිපාණෝ ද මෙම සත් කාර්යය සඳහා මහත් බලාපොරොත්තු තබා සිටි දෙපළකි. ශ්‍රී ධර්මානන්ද මාහිමිපාණන් වහන්සේ ගේ නාමය සංකේතවත් කරමින් සංඝික මහා සුධර්මාරාමයේ පැවති “ශ්‍රී ධර්මානන්ද පිරිවෙණ“ පුළුල් මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගීමේ අවශ්‍යතාව මේ වන විට තත්කාර්යයෙහි නියැලි සියල්ලෝම අවබෝධ කොට ගත්හ.

එබැවින්, 1931 පෙරවාරි 13 වන ගුරු දින බලන්ගොඩ පරණ පාර අසළ පිහිටි පැරණි තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලෙහි පිරිවෙණ ඇරැඹිණ. මහවලතැන්නේ මහකුමාරිහාමි මැතිණියගේ ද, රත්වත්තේ මහදිසාව ගේද එම දෙපලගේ දෙටු දියණිය වන සිරිමාවෝ රත්වත්තේ බණ්ඩාරණායක මැතිණිය ඇතුළු දූ දරුවන්ගේ ද අනුග්‍රහය ඇතිව ඔවුන්ට අයත් එම ගොඩනැගිල්ලෙහි 1933 ජූලි මාසය දක්වා පිරිවෙණ පැවැත්වූ බව මහනාහිමිපාණෝ අප වෙත සිහිපත් කළහ. මහා නාහිමියන් පැවසූ අයුරින් කාලීන අවශ්‍යතා සලකා වඩාත් ශක්තිමත් පුළුල් පිරිවෙන් ගොඩනැගිල්ලක් පිළිබඳ අදහස මේ වන විට කාගේත් අවධානයට යොමු වී ඇත. මේ අතර 1933 ජූලි මස 07 දින නාහිමියෝ හලාවත මාදම්පේ සේනානායක මුදලිතුමන්ගේ බැතිබර ඇරයුමකට අනුව එහි වස්විසීම සඳහා වැඩම කළ බව පැවසූහ.

බලන්ගොඩ ප්‍රෙද්ශයේ මහ තෙරවරු ද ගිහි ප්‍රභූහු ද සැදැහැවත් දායිකාවෝ ද පිරිවෙණක් ඉඳිකිරීම සඳහා පසුබිම සකස් කළහ. අප මහනාහිමිපාණන් ගේ හිතෛෂී ඥාතීන්ගෙන් මෙන් ම සැදැහැවත් දායක දායිකාවන්ගෙන් ද, එච්.එම්.ගුණතිලක කෝරළේ මැතිතුමන් ප්‍රමුඛ සොහොයුරු සොහොයුරියන්ගෙන් ද ලද ආරාධනයකි. ගුණතිලක පවුලේ ඥාතීන් විසින් බලවත් ශ්‍රද්ධාවෙන් පරිත්‍යාග කළ බව බලන්ගොඩ මිරිස්වත්ත ගමේ ඉඩමක, එනම්, මේ වන විට ධර්මානන්දයේ අධ්‍යාපනයේ යෙදී සිටි කිරිමැටිතැන්නේ විමලවංශ හිමියන් වැඩ විසූ ආවාසයේ කුඩා ධර්මශාලාවේ නව ධර්මානන්ද පිරිවෙණ ආරම්භ වූයේ තවත් සන්ධිස්ථානයක් පසු කරමිනි.
අප නාහිමිපාණන් වහන්සේ ගේ ලිපි ලේඛණවලට අනුව 1933 දෙසැම්බර් මස 31 වන ගුරු දින පස්වරු එක පසු වී විනාඩි පහට එම සුභ මුහුර්ථය යෙදී තිබිණි. මෙතෙක් මෙම උත්කෘෂ්ට කාර්යය සාර්ථක කර ගැනීමට පසුබිම සැකසූ මුලින් සඳහන් කළ ගරු කටයුතු සඟරුවනද, බෝධිමළුවේ විමලජෝති, කිංචිගුණේ මේධානන්ද, දාමහණ සුධර්මාරාම, මහවලතැන්නේ පේමානන්ද, බිබිලේ සුමංගල, පොල්ලමුරේ සිරිනිවාස, දාමහණ නන්දාරාම, ගැටඅරළුවේ ධම්මරතන, විකිළියේ නාරද, කිරිමැටිතැන්නේ විමලවංශ ආදී සංඝ පීතෘන් වහන්සේ ද ඇතුළු තෛනිකායික භික්ෂූ සංඝයා ගේ ද, සතර පේරුවේ දායක දායිකාවන්ගේද සහභාගිත්වයෙන් පිරිවෙන් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු සැලසුම් කර ඇත. විකිලියේ නාරද මාහිමිපාණන් වහන්සේගේ අධීක්ෂණය යටතේ එය සිදු කර ඇත. ආනන්ද මෛත්‍රෙය මාහිමිපාණෝ ආනන්ද විද්‍යාලයයේ අධ්‍යාපන කටයුතු වල නිරත වූහ.පසු කලෙක නාහිමියන් විසින් නම් තැබු නාලන්ද විද්‍යාලයේ ද මෙහි ලා සිහිපත් කළ යුතුය.”අපාදාන සොහිනී පඤ්ඤා” (ප්‍රඥා තොමෝ චරිතයෙන් බබලන්නීය) යනුවෙන් නාලන්දාවට ද ශ්‍රී ධර්මානන්ද පිරිවෙණට ද තේමා පාඨය ඉදිරිපත් කොට ඇත්තේ අප නාහිමිපාණෝය.

මාලිගාකන්දේ වි‍ද්‍යෝදය පිරිවෙ‍ණේ උසස් උධ්‍යාපන කටයුතු වල නියැලමින් සිටි ගැටඅරළුවේ ශ්‍රී ධම්මරතන මාහිමියෝ (වර්තමාන මහානාහිමි) ශ්‍රී ධර්මානන්ද පරි‍වෙණාදිපති වශෙයන් ආනන්ද මෛත්‍රය මහ නාහිමිපාණන් විසින් පත් කරන ලදහ. නව පිරිවෙන් පති හිමි අධ්‍යාපන කටයුතු හා ‍ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතු ද ගිහි පැවිදි පිරිසේ සහයෝග‍යෙන් ක්‍රියාත්මක කර ඇත.ආනන්ද මෛ‍ත්‍රෙය මහ නාහිමිපාණන් වහන්සේ ගේ උපෙද්ශකත්වෙයන් 1935 මැයි මස 13 වන සදුදා නව ගොඩනැගිල්ලේ පිරිවෙන ඇරඹිනණි.බානස් රත්වත්තේ මහ දිසාපති තුමන් පිරිවෙන් ශාලාව විවෘත කළ අතර වැලිගෙපොල ජයසුන්දර කුල කුමරුවා වැලිගෙපල මෛත්‍රී මුර්ති භික්ෂු නමින් මහ හිමියන් ගේ ආචාය්‍ර්‍යත්වයෙන් පැවිදි බිමට පත් වීම ද එදින සිදුවූ සුවිශේෂ ශාසනික කටයුත්තකි.

පිරිවෙණ හා එහිම ධර්මගිරි ආශ්‍රමය මගින් ප්‍රදේශයේ බෞද්ධ අබෞද්ධ ජනතාව කෙරෙහි විවිධ සේවාවන් ‍‍‍‍මේ වන විට පුළුල් අයුරින් ඉටු කිරීමෙහි යෙදී ඇත.මෙම අවධිය වනවිට පිරිවෙනේ ඉඩකඩ සීමිත වු බැවින් ගැටඅරළුවේ ධම්මරතන මාහිමියන් විසින් අඩි 35 ක් දිග අඩි 20 ක් පළල තවත් ගොඩනැගිල්ලක් ගිහි පැවිදි දෙපිරිසේ සහයෝගයෙන් ඉදිකොට ඇත.1937 අප්‍රේල් 11 වන දින ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන් ආනන්දයෙන් සමුගත්තේ ශ්‍රී ධර්මානන්දයේ හා ධර්මගිරි ආශ්‍රමයේ දියුණුව තකා ය.1936 දෙසැම්බර් 6 වැනි ඉරු දින නාහිමියෝ එහි ස්ට්‍ර්‍ර පදිංචිය සදහා වැඩියහ.අනතුරුව 1937 ජනවාරි 01 වැනි කිවිදින සිට යලි ශ්‍රී ධර්මානන්දයේ පරිවේණධිපති පදවිය භාරගත්හ. නියෝජ්‍ය පරිවේණාධිපති හා කෘත්‍යාධිකාරි කටයුතු ගැටඅරළුවේ ධම්මරතන මාහිමියන් වෙත පැවරිණ. මෙම අවධියෙහි සිසු පිරිස ද වැඩිවත් ම ප්‍රදේශයේ ගම් නියම් ගම් වල පිඩුසිඟා වඩිමින් පවා දානමානාදියෙන් සපයා ගත් බව තතුදන්නෝ සදහන් කරති.මේ වන විට ඇදුරු මඩුල්ල සදහා බිබිලේ සුමංගල නාහිමියන්ගේ ශිෂ්‍ය දෙනගම නාගර්ජුන හිමියෝ පත් කරගනු ලැබුහ.ධර්මානන්දයේ අධ්‍යාපනය ලැබූ බව 1938 ජුලි මස “දිනමිණ” පුවත්පතෙහි පළවීම ධර්මානන්දයේ ඵෙතිහාසික අවස්ථාවකි. එවන් ප්‍රගතීන් ඔස්සේ රජයේ අවධානය ද පිරිවෙණ කෙරෙහි යොමු විය. වාර්ෂික පිරිවෙන් පරීක්ෂනය පැවැත්වීම එහි ප්‍රතිඵලයකි.

1937 ජනවාරි 01 වැනිදින සිට ධර්මගිරි ආශ්‍රමභුමියේ වඩාත් විධිමත් අයුරින් පිරිවෙනේ කටයුතු ක්‍රියාත්මක කොට ඇත. ආණ්ඩු‍වෙන් කළ ප්‍රථම පරීක්ෂණය 1938 සැප්තැම්බර් 23 වන දින පැවැත්වූ බව ද,1940 පෙබරවාරි 26 වෙනි දින ධර්මානන්ද පිරිවෙණ රජයේ ලියාපදිංචියට ඇතුළත් වු බව ද ධර්මානන්දයේ මුල් ලොග් සටහන් වාර්තා වල සඳහන් ය. නේවාසික සිසුන් සඳහා 1940 මැයි මස 30 වන දින ශිෂ්‍ය නිවාසයක් ද විවෘත කෙරිණි.

නියේජ්‍ය පරිවෙණාධිපති ගැටඅරළුවේ ශ්‍රී ධම්මරතන මාහිමියන් වැඩිදුරටත් ශාසනික කටයුතු හා භාවනායෝගි වත්පිලිවෙත්හි නියැලීමේ අභිලාෂයෙන් පසුවු බැවින් බෙලිහුල්ඔය ශ්‍රී සුවිසුද්ධාරාමයට වැඩම කරවන ලද්දේ මෙම අවධියේ ය. මේ වන විට ආචර්ය මණ්ඩලය පුළුල් කළයුතු විය. කාලීන අවශ්‍යතාවයක් වු ඉංග්‍රිසි අධ්‍යාපනය ලබාදීමේ අවශ්‍යතාව දැඩිසේ දැනෙන්නට විය .මහා නාහිමියෝ එම අදහස් ඉදිරිපත් කරමින් විකිළිය වතුයායේ ආර්.ඒ ගුණසේන පාලක මහතා ද විකිළියේ නාරද හිමියන් ද එම පැතුම ඉටු නිරීමේහි ලා තුඹගොඩ ශ්‍රි සුඳර්ශනාරාමාධිපති බලන්ගොඩ සුමනජෝති නාහිමිපාණන් වහන්සේ ද, සංඝික සුදර්මාරාමාධිපති ගඟුල්විටියේ සුමංගල හිමිපාණන් වහන්සේ ද වෙළඟේ පුරාණ විහාරාධිපති නැදුම්ගමු‍වේ සුමනසාර මාහිමිපාණන් වහන්සේ ද,බෙලිහුල්ඔය සුවිසුද්ධාරාමාධිපති ගැටඅරළුවේ ධම්මරතන මාහිමි පාණන්වහන්සේ ද ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරූ පිරිසෙන් කිහිප දෙනෙකි. මස්සැන්න වත්තෙහි අධ්‍යක්ෂක සෙනවිරත්න මහතා ඉංග්‍රිසි අධ්‍යාපනය සඳහා නන් අයුරින් සහයෝගය පල කොට ඇත. ඉංග්‍රිසි අධ්‍යාපනය සඳහා ගුණතිලක කෝරළේ මහතා ප්‍රමුක ඥාතීන් විසින් පරිත්‍යාග කරන ලද මිරිස්වත්ත ඉඩමේ අභිනවයෙන් ඉදිකළ ගොඩනැගිල්ල ඒ සඳහා යොදාගත් බව සඳහන් වෙයි. “ධර්මානන්ද ‍බෞද්ධ ඉංග්‍රිසි විද්‍යාලය” යනුවෙන් එය හැදින්වෙණි එහි උන්නතිය සඳහා “රත්නපුර බෞද්ධ සමිතියට” පැවරිණි.අදියරෙන් අදියර ප්‍රගතිය කරා යොමුවෙමින් අනතුරුව එය “බලන්ගොඩ විද්‍යාලය” නමින් වැහැරිණි.මේ වන විට සිංහල, දමිළ, මුස්ලිම්, සිසුන් 400 ක් තරම් පිරිසක් අධ්‍යාපනය සඳහා එහි පැමිණි බව සඳහන් ය. මේ අයුරින් ආරම්භ වු “බලන්ගොඩ ජාතික පාසල” වශයෙන් ධර්මානන්දය ඉදිරියෙහි අද අභිමානවත් සේවාවක් ඉටු කරයි.

ශ්‍රි ලංකාවේ අධ්‍යාපනය ද, ජාතික ව්‍යාපාරයේ ද ප්‍රගතියක් සිදු වු ‍මෙම අවධියෙහි පිරිවෙන් අධ්‍යාපනය සඳහා පෙර,පර දෙදිග භාෂාවන් මෙන් ම අලුතින් එක් කෙරුණු භූගෝල විද්‍යාව වැනි විෂය ධාරාවන් ඉගැන්වීමට ද මග සැලසිණි. ඒ සඳහා නාහාමියන්ගේ මග පෙන්වීම යටතේ ප්‍රවීණ, ආචාර්යවරුන් වශයෙන් රියෙන්සි අලගියවන්න, නෝනිස් පෙරේරා,මෙන්ඩිස්( ඇම්.ඒ උපාධිලාභි) අල්වාපිල්ලේ ආදීහු කටයුතු කල බව වාර්තාගත ව ඇත.ධර්මානන්දයේ ද, බලන්ගොඩ විද්‍යාලයේ ද අධ්‍යාපනය ලබමින් මේ වන විට උසස් විභාගයන් සඳහා යොමු වුවන් හා රජයේ රැකියා වලට යොමුවුවන් ද දිනෙන් දින ගණනින් ඉහළ ප්‍රතිශතයක් පෙන්නුම් කොට ඇත.

බාහිර සිසුන් මෙන් ම නේවාසික ගිහි පැවිදි සිසුන් ද ධර්මානන්ද පිරිවෙණෙහි අධ්‍යාපන කටයුතු වල යෙදුනු අතර,ධර්මගිරි ආශ්‍රමයෙන් වත් පිලිවෙත්, සිරිත් විරිත්, භාවනා කටයුතු ඉහලින් ම සිදු වු අවධියක් වශයෙන් සිහිපත් කලහැකි බව නාහිමියන්ගේ මතය යි. වැලිගෙපොල මෛත්‍රී මුර්ති හිමියන් විසින් ස්වතිකායික සංඝයා වහන්සේ හා දායක දායිකා වන්ගේ සහභාගිත්වයෙන් පුළුල් ජාතික, ආගමික හා ශාසනික කාර්ය භාර්යන් රැසක් ඉටුකොට ඇත. “ධර්ම විජය” නමින් පුවත්පතක් ඉංග්‍රිසියෙන් සහ සිංහලෙන් එකල මුද්‍රණය කොට ඇත. එකල රත්නපුරයෙහි ඒජන්ත ධූරය දැරූ ඇන්. කි්‍යු. දියෙස් මැතිතුමා ඇතුළු ප්‍රභූහු ඒ සඳහා පුරෝගාමී වූහ. ධර්මගිරි ආශ්‍රමයෙහි විහාර මන්දිරය දෙහිගස්තලාවේ හරමානිස් ප්‍රනාන්දු මුදලාලි මහතා ප්‍රමුක දායික දායිකාවන් විසින් තනවා ඇත. අති දර්ශනීය බුද්ධ ප්‍රතිමාව නාහිමියන් හදා වඩා ගත්, නාහිමියන්ට කිරිදුන් නැන්දනියගේ දියණිය එනම්, නාහිමියන් හා එකට කිරි බී වැඩුනු එන්. ටී. ආර්. රම්මැණිකේ මහෝපාසිකා ව විසින් තනවා 1951.05.08 වෙනි දින නේත්‍රා ප්‍රතිෂ්තාපනය කොට ඇත. ” සම්බෝධි ප්‍රර්ථනා ගාථා ” නමින් බුදු බව ප්‍රර්ථනය කිරීමේ අභිලාෂයෙන් ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් විසින් රචනා කළ ගාථාවන් එකල ධර්මගිරි ආශ්‍රමයේ වත් පිරිත් දෙසීමෙන් පසුව සජ්ඣායනය කළ බව අපි දනිමු. මෙබඳු ප්‍රබෝධවත් අවධියක් සැකසෙමින් පැවති අතර, නොසිතූ අයුරින් පරිවෙණාචාර්ය වරයෙකු වශයන් ද, කෘත්‍යාධිකාරීවරයෙකු වශයන් ද අමිල මෙ‍හෙයක යෙදුනු වැලිගෙපොල මෛත්‍රී මූර්ති හිමියන් අපවත් වු පුවත ශ්‍රී ධර්මානන්ද ඉතිහාසයේ අතිශය සංවේග ජනක අවස්ථාවකි. එය සිදුව ඇත්තේ 1955 සැප්තැම්බර් මස 25 වෙනි දින දීය. අනතුරුව උන් වහන්සේ විසින් ඉටු කල කාර්යභාර්ය අනෙකුත් ආචාර්ය වරුන්ගේ උපකාරයෙන් පවත්වා ගන්නට හැකි විය. මේ වන විට අප ආයතනයෙන් බිහිවූ ගිහි පැවදි උගතුන් විවිද කාර්යයන්හි නිරත වූ බව පෙනේ.

මේ අවධියේ විද්‍යෝදය විශ්ව විද්‍යාලය ඇරඹියෙන් එහි මහායාන බුද්ධ ධර්මය අධ්‍යයන අංශයේ මහාචාර්ය පදවිය සඳහා උප කුලපති වැලිවිටියේ ශ්‍රී සෝරත නාහිමියන් විසින් බලන්ගොඩ ආනන්ද මෛත්‍රය මහානායක මාහිමිපාණන් වහන්සේට ආරාධනා කොට පත් කරගන්නා ලදහ. මෙය සිදු වූයේ 1959 වර්ෂයේ දී ය. එබැවින් ධර්මානන්ද පිරිවෙන්පති තනතුර සඳහා මහා නාහිමියන් ගේ සුවච ශිෂ්‍යයෙකු වූ පණ්ඩිත ඉඹුලාමුරේ ධර්ම මුර්ති හිමියෝ 1959 ජනවාරි 12 වැනි දින පත් කර ගන්නා ලදහ. 1960 ඔක්තෝම්බර් 05 වැනි දින විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්ති මෙම පිරිවෙණෙහි ආරම්භ කොට ඇත. අනතුරුව 1963 ජූනි 01 වෙනි දින පිරුවත ” ශ්‍රී ධර්මානන්ද ජේ්‍යෂ්ඨ පිරිවෙන” බවට පත්ව ඇත. මෙම ආයතනය ” ශ්‍රී ධර්මානන්ද විශ්ව විද්‍යාලයානුබද්ධ ආයතනය ” වශයෙන් විද්‍යෝදය විශ්වවිද්‍යාලය විසින් 1963 සැප්තැම්බර් 11 වන දින පිළිගත් බව ආයතනික ලොග් සටහන තහවුරු කරයි.

මේ වනවිට පරිවේණාධිපති පණ්ඩිත ඉඹුලාමුරේ ධර්මමූර්ති හිමි රෝගී තත්වයෙන් පසු වුයෙන් විවේක ගැනීම සඳහා පරි‍වෙණාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීය. මහා නාහිමිපාණන්වහන්සේ තමාගේ උගත් ධර්මධර ශිෂයෙකු වු පනාවැන්නේ ධම්මාකර හිමියන් වැඩබලන පරිවෙණාධිපති තනතුරට පත්කර ගත්හ. මෙය 1965 ජූලි 13 වන දින සිදු වී ඇත. අනතුරුව 1965 නොවැම්බර් 01 වැනි දින වැඩබලන පරිවෙණාධිපති තනතුර සඳහා ගෞරව ශාස්ත්‍රවේදී බලංගොඩ මෛත්‍රී හිමියෝ පත්නර ගන්නා ලදහ. මේ වන විට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය නිමකළ මහා නාහිමියන්ගේ දක්ෂ ශිෂ්‍යයෙකු වූ ශාස්ත්‍රපති දෙණිහේනේ ආනන්ද මූර්ති හිමියෝ 1966 දෙසැම්බර් 15 වැනි දින ශ්‍රී ධර්මානන්දයේහි පරිවේණාධිපති පදවියට පත් කරගන්නා ලදහ. උන්වහන්සේගේ අවධියෙහි අප පිරිවෙන් ඉතිහාසයෙහි තවත් යුග පෙරලියක් සිදුව ඇත.අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ගිහි පැවදි සිසුහු උසස් ප්‍රතිඵල ලැබුහ. 1967 වසරේදී විද්‍යෝදය විශ්වවිද්‍යාලයට අනුබද්ධව උපාධි පරීක්ෂනය සඳහා විධිමත් අයුරින් උපාධි අධ්‍යයන අංශයක් ද ආරම්භ කෙරිණි. තුඹගොඩ ශ්‍රී සුදර්ශනාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රාචාය්‍යර්‍ බලන්ගොඩ සුධම්මවංශ නාහිමිපාණන් ඇතුළු, ආචාය්‍යර්‍ මණ්ඩලයක් එහි අධ්‍යාපන කටයුතු මෙහෙයවා ඇත. එමගින් ලද ප්‍රතිඵල වඩාත් දිරිගන්වන සුළු විය. තවද ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා ‘ධර්මානන්ද විද්‍යාලය’ නමින් තවත් අංශයක් බිහිවිය. අචාය්‍යර්‍ මණ්ඩලයද වඩාත් පුළුල් මට්ටමකින් ක්‍රියාත්මක විය. කාලීන අවශ්‍යතාවයක් වු පුස්තකාලයක් ද දහම්පාසලක් ද මෙම අවධියේ ආරම්භ කරන ලදී. ඉඩකඩ සීම්ත බැවින් පිරිවෙණ සඳහා දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතුණි. ආනන්ද මූර්ති හිමියන්ගේ අවධියෙහි මෙම ගොඩනැගිල්ලේ පළමු මහලේ කටයුතු සම්පූර්ණ කෙරිණි. එසේම මහා නාහිමියන්ගේ ශිෂ්‍ය ශාස්ත්‍රාචාය්‍යර්‍ ආර්. එම්. විමලචන්ද්‍ර මහතා මෙම කටයුතු සම්පුර්ණ කෙරිණි. එසේම මහා නාහිමියන්ගේ ශිෂ්‍ය ශාස්ත්‍රාචාය්‍යර්‍ ආර්. එම්. විමලචන්ද්‍ර මහතා මෙම කටයුතු සඳහා අපමණ වෙහෙසක් දැරූ බව නොරහසකි. ධර්මගිරි ආශ්‍රමයෙහි භික්ෂුන් වහන්සේගේ විනය කටයුතු සඳහා වූ මහාර්ඝ බද්ධ සීමා මන්දිරය ද මෙම අවදියෙහි නිමවු බව සටහන් වෙයි. එසේම භාහිර සිසු සිසුවියන් සඳහා ද විශේෂ අධ්‍යයන පාඨමාලාවක් මෙම අවධියෙහි ආරම්භ කෙරිණි. අනතුරුව පරිවේණාධිපති දෙණිහේනේ ආනන්ද මූර්ති හිමියෝ ආගමික හා අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වී ඇත.

අප මහා නාහිමියන් වහණ්සේ ගේ ජ්‍යෙෂ්ඨ ශිෂයෙකු වු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අංශයේ සහකාර කථීකාචාය්‍යර්‍වරයෙකු වශයෙන් කටයුතු කළ ගෞරව ශාස්ත්‍රවේදී අධ්‍යාපනවේදී කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති හිමියෝ බහුතරයෙක ගේ බලයත් අයැදුම පිළිගනිමින් 1974 අප්‍රේල් 29 වෙනි දින පරිවෙණාධිපති ධූරයේ වැඩ භාරගත්හ. ධර්මානන්දයේ තවත් ස්වර්ණමය යුගයක් නිර්මාණය වන්නට අවැසි පසුබිම වඩාත් පුළුල් පදනමකින් නිර්මාණය වුණි. මෙතෙක් තනි මහලක ඉඳිකිරීම් සම්පූර්ණව පැවති පිරිවෙන් ශාලාවක ඉහල මාලයේ කටයුතු අනතුරුව සම්පූර්ණ කෙරිණි. එමෙන් ම, විද්‍යාගාරයක් සහිත සුවිසල් දෙමහල් ගොඩනැගිල්ලක් ඉඳිකොට සිය ගුරු දේවොත්තම සඟරජ හිමියන් ගේ සියවැනි ජන්ම දිනය සමරා සඟරජ හිමියන් ලවා 1995. 08. 23 වන දින උත්කර්ශවත් අයුරින් ස්මාරක වශයෙන් විවෘත කරවන ලදී. මෙහිදී සබරගමු පලාත් සභා අමාත්‍යවරයෙකු වු හැමිල්ටන් පොන්සේකා මහතාද පළාත් සභා මන්ත්‍රී මොහාන් එල්ලාවල මහතා ද විවිධ උපකරණ පරිත්‍යාග කොට ඇත. ශ්‍රී ධර්මානන්ද විද්‍යාපයතන පිරිවෙන්හි නියෝජ්‍ය විදුහල්පති එන්. එන්. විජේකෝන් මහතාගේ ඉල්ලීමකට අනුව සබරගමු පලාත් සභාවේ සභානායක රංජිත් ඔබේසේකර මැතිතුමා විද්‍යාගාරය සඳහා අවශ්‍ය උපකරණ රැසක් පරිත්‍යාග කිරිමෙන් දැක්වු සහයෝගය සිහිපත් කළ යුතුය. පිරිවෙණට අත්‍යවශ්‍ය අංගයක් වූ පුස්තකාල මන්ද්රය මේ වන විට නිමවා ඇත. එය “ශ්‍රී සීලානන්ද පුස්තකාලය” යනුවෙන් නම් කොට ඇත.

මෛත්‍රී මූර්ති හිමියෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන් ම ශාසනික වශයෙන් අමරපුර සිරි සද්ධම්මවංශ නිකායේ (රාස්සගල විහාර පාර්ශවයේ) ලේඛකාධිකාරී ධූරයද හොබවමින් සිය වගකීම් ඉටු කරති. උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරීවරයෙකි. එසේ පුළුල් ශාසනික හා ජාතික මෙහෙවර සඳහා යොමු වීම ද අගය කරමු. ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් ( ධර්මගිරි ආශ්‍රමය ) විහාරාධිපති වශයෙන් ද විවිධ සේවාවන්හි නිරත වීම පැසසුම් කටයුතුය.

මෙම අවධියෙහි අ.පො.ස ( උසස් පෙළ ) වාණිජ අංශයක් ද ආරම්භ කොට ඇත. මූලික පිරිවෙනේ සිට ප්‍රවීන විභාග දක්වා පැවති අධ්‍යාපනයෙහි සුවිශේෂ ප්‍රගතියක් සටහන් වන පුළුල් වැඩ පිළිවෙලක් ඇරඹියේ ය. පේරාදෙණිය හා කැලණිය ශාස්ත්‍රවේදී බාහිර ( බී. ඒ. ) උපාධි සඳහා අධ්‍යාපන කටයුතු අතිශයින් ක්‍රමානුකූලව ක්‍රියාත්මක කෙරෙන උපාධි අධ්‍යයන අංශය විශිෂ්ට ප්‍රතිඵල දක්වමින් සෑම වසරක ම ප්‍රථම භාග, ද්වීතීය භාග හා උපාධි පරීක්ෂණයන්ගෙන් ඉහළ ප්‍රතිශතයක ප්‍රතිඵල ලබා දීමට සමත්ව ඇත. ජාතික විද්‍යාල හා කරට කර සිටින අයුරින් ක්‍රීඩා තරග වලදී අපේ සිසුහු පෙරමුණේ සිටිති. මෙම කාලය තුල විවිධ ක්‍ෂේත්‍රයන්හි සමත්කම් දක්වමින් වාර්තා පිට වාර්තා පිහිටු වීමට අපට හැකිවිය. තවද පිරිවෙණෙහි ගිහි පැවිදි සිසුහු ආගමික කටයුතු කෙරෙහි යොමු කරන ලදහ. ඒ අතරින් වාර්ශික පොසොන් ශීල ව්‍යාපාරය හා සම්බන්ධ ආගමික වැඩ සටහන් කාගේත් අවධානයට යොමු වූවකි. ආයතනයට සම්බන්ධ “මෛත්‍රී දහම් පාසල” ප්‍රාදේශීය දහම් පාසල් අතර උසස් මට්ටමකින් ක්‍රියාත්මක වන්නකි. සබරගමු පලාතේ මූලික පිරිවෙන්, මහ පිරිවෙන්, විද්‍යායතන පිරිවෙන් අතර සම්භාවනීය තක්ෂලාවක් වශයෙන් මෙම ආයතනය පවත්වා ගැනීමට උන් වහන්සේ මහත් කැපවීමකින් කටයුතු කරති. අතිපූජ්‍ය ආනන්ද මෛත්‍රෙය සංඝරාජ හිමියන් නමින් ශිෂ්‍යත්ව අරමුදල් පදනමක් ද උඩරට අමරපුර නිකායේ සබරගමු පළාතේ අධිකරණ සංඝනායක තවලම්පොල සද්ධාතිස්ස නාහිමියන්ගේ පරිත්‍යාගයෙන් තවත් ශිෂ්‍යත්ව අරමුදලක් ද මෙම අවධියේ පිහිටුවා ඇත. පිරිවෙන් භූමිය තුල අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් සම්පූර්ණ කළ අතර, ප්‍රාකාර ආදියෙන් භූමි ප්‍රදේශය ක්‍රමවත් කොට ඇත. විවිධ සමිති හා සංවිධාන පිහිටුවා ඒවායෙහිද ක්‍රියාකාරිත්වය පණගන්වමින් උන් වහන්සේ සුවිශේෂ ජාතික හා ශාසනික සේවාවන්හි යෙදෙති. උන්වහන්සේ ගේ ක්‍රියාශීලිත්වය ද, විවිධ සේවාවන්හි ප්‍රවීණත්වයද සලකමින් 1992 මාර්තු 03 වන දින සබරගමු පළාතේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු වශයෙන් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පත් කර ගන්නා ලදහ. මෙම පත්වීම ධර්මානන්දයේ අභිවෘද්ධිය සඳහා තවදුරටත් ශක්තිමත් බලවේගයක් විය. එය ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් ඉතිහාසයේ යුග පෙරලියක පෙර නිමිත්තක් වනු ඇත.

උන්වහන්සේගෙන් පුරප්පාඩු වු පරිවෙණාධිපති ධූරය සඳහා 1992 මාර්තු 03 වන දින සිට ිමෙම පිරිවෙන් ආචාර්ය්‍යර්‍වරයෙකු වශයෙන් කටයුතු කළ ශාස්ත්‍රාචාය්‍යර්‍ හල්වින්නේ ගුණසිරි හිමියෝ පත් කොට ගන්නා ලදහ. සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂහිමියන්ගේ පූර්ණ අධීක්ෂය හා මග පෙන්වීම යටතේ මේ වන විට ආයතනයේ අධ්‍යාපන හා බාහිර කටයුතුවල ප්‍රගතශීලී ඉදිරි ගමනක් සටහන් වනු පෙනේ.

ශ්‍රී ධර්මානන්ද පිරිවෙන් ඉතිහාසයෙහි අමතක නොවන එමෙන්ම අතිශයින් ශෝචනීය සිදුවීමක් සටහන් වන්නේ වර්ෂ 1998 ජූලි 18 වෙනි දාය. ඒ අතිඋත්තරීතර අභිධජ මහා රට්ඨගුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙයාභිධාන සංඝ රාජෝත්තමයාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳ ව සංවේගදායි පුවතයි.ලොකපූජිත සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සව කටයුතු හා පුණ්‍යානුමෝදනා කටයුතු රජය ද, ගිහි පැවිදි පිරිස ද, විවිධ ආයතන ද, මෙම පිරිවෙනේ ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන්ගේ සහභාගිත්වය ද ලබා ගනිමින් උත්කෘෂ්ඨ හා ගෞරවාන්විත අයුරින් මෛත්‍රී මුර්ති හිමියන් එම කටයුතු සිදු කිරීම සුවිශේෂ කටයුත්තකි.

මෙවන් වෙහෙසකර ගමන් මගක් ඔස්සේ බලන්ගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙණහි ඓතිහාසික ගමන් මග 21 වන සිය වසේ එලිපත්ත කරා පිය නගමින් සිටි. ආයතන මගින් අපේක්ෂිත විවිධ අරමුණු නොසිතූ අයුරින් ඵලදරා ඇතැයි අගතියෙන් තොරව පැවසිය හැකිය.

ප්‍රඥාතොමෝ චරිතයෙන් බබලන්නීය. (අපදාන සොභිනී පඤ්ඤා) යන්න පරිසමාප්ත්‍යර්‍ටෙයන් ම සනාථ කරනු ඇත.

වීරං ජයතු සිරිදම්නඳ මාතා………

බළන්ගොඩ ආනන්ද මෛත්‍රය මහානායක ස්ථවීර

(උපුටා ගැනීම 1967 සිරි දම්නද මංගල කලාපය)

බළන්ගොඩ ඓතිහාසිකද?

ප්‍රාග් ඓතිහාසිකත්වය විමර්ශනය කරන විට නිර්මාණවාදය හා පරිණාමවාදය පමණක් නොව විවිධ ආගමික මතවාදයන් පිළිබදව ද තුලනාත්මක අධ්‍යනයක් කළ යුතුය.දේවවාදයෙන් බැහැර වන විට‍ අපට හමුවන්නේ ස්වාභාවික සිද්ධාන්ත වාදයයි. බෞද්ධ දර්ශනයෙහි එන හේතුඑලවාදය නිර්මාණවාදයෙන් ඉදුරාම බැහැර වු දර්ශනයකි.

දේව නිර්මාණවාදයට අනුව මැවුම්කාර -සර්වබලධාරී දෙවියන් වහන්සේ ලෝක නිර්මාණ ක්‍රියාවලියේදී රතු මැටියෙන් මිනිස් රුවක් තනා එයට ජීවන හුස්ම පිඹ අමරණීය ආත්මයක් මවා වදාළේ යැයි බයිබලයේ උප්පත්ති කථාව කියයි. කුරානය පවසන්නේ ද මෙයට සමගාමී තවත් අදහසකි. අල්ලාහ් ගේ මුලික ව්‍යායාමය වු‍යේ මිනිසෙකුගේ මිනිසෙකුගේ රුවක් මැටියෙන් තනා ඉන් පසු කුඩා දිය බිංදුවකින් මිනිස් පරපුරක් බිහි කළ බවත් අනුක්‍රමිකව හිස,කද,අත්පා සහිත ව මනුෂ්‍ය ශරිරයට, ආයුෂය,සැපය,බලය,ප්‍රඥාව යන පංච සම්පත්තිය අන්තර්ග්‍රහනය කරවු බවත්, හුදෙක් තම එය ජීවාත්මයෙන් ශේෂයක් මිනිස් සිරුරට පිඹීමෙන් කළ හාස්කමක් බව උත්ප්‍රේරණය කරයි. පස් අනා සකස් කොට ගත් මැටියෙන් නොව, මිනිසා ස්වාභාවික ලෙස පසෙන් හට ගන්නා සත්තව විශේෂයක් ලෙස ලොවට දායාද වී ඇතැයි ලුක්‍රෙසියස්කාරුස් (ක්‍රි.පු.95-51)ප්‍රකාශ කළේය. බෞද්ධ දර්ශනයට, අනුව මිනිසා ඇතුළු සියලු සත්වයන්වම අපෝ,තේජෝ,වායෝ,පඨවි යන සතර මහා ධාතුන්ගේ සංකලනයකි. හින්දු ධර්ම ශාස්ත්‍රයට අනුව විශ්ණුගේ දශාවතාරයෙන් වාච්‍යවන ජලය සත්ත්වෝත්පත්තියට පාදක වී ඇතැයි වෛෂ්ණව භක්තික හින්දුහු විශ්වාස කරති. දීඝනිකායේ අග්ගඤ්ඤ සුත්‍රයට බෞද්ධ දර්ශනයෙන් ඉදිරිපත්වනුයේ,හේතු ප්‍රත්‍යතාවය අනුව ලෝකයේ සාමාරම්භය ජලය ආශ්‍රිතව සිද්ධි සංයුතියකි.ලෝක විනාශයත් සමගම බොහෝ සත්වයෝ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි උපත ලබා බබළන සිරුරු ඇතිව ආකාශචාරීව විසු බවත්,ප්‍රීතිය ආහාර කොට (ප්‍රීති භක්ඛා)කල් යැවු ඔවුහු ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් චුතව ජලස්ඛන්ධයක් ව පැවති මෙලොව ඕපපාතිකව උපත ලද බවත්,අදුරෙන් වටව,සද හිරු තාරකා නොමැති රෑ දවල්,දින,මාස,අවුරුදු ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැතිව සත්ත්ව ව්‍යවහාර මාත්‍රයම පමණක් පැවති බවත් ජලය අනුක්‍රමයෙන් සිදීයාමෙන් පසු දිය මතුපිට පොළොව දකින එක් තණ්හාභරිත රස පොළොවෙහි(පප්පටකෝජං)ඇගිල්ල ඇන ලෙව කෑ බවත් වැඩිදුරටත් සදහන් වෙයි.

අනිකුත් සමායාන්තර ඉගැන්විම් වල‍ට වඩා බෞද්ධ දර්ශනය මගින් තහවුරු කොට ඇති මෙම සිද්ධාන්තයෙහි කිසියම් වටිනාකමක් ඇතැයි Early Man කෘතිය ලියු ජෝර්ජ් ග්‍රාන්ට් පවසයි. කාල් මාක්ස් වරක් “ආගම් අබිං” යැයි හදුන්වා ඇත්තේ බුදුදහමින් බැහැර ආගම් මිස, බුදු දහම නොවේ. බුදු දහමින් මිනිස් සිත පුබුදුවන අතර, ආක්‍රමණය කිරීමක් සිදු‍ නොවන බවත් කාල්මාක්ස්ගේ දර්ශනය පිළිබද පුර්විකාවක් සපයන ඇෂ්ලි මොන්ටේගු පඩිවරයා පවසයි.

සත්ත්ව මුලධර්ම වාදය පිළිබදව කිසියම් අදහසක් මා මෙහි පළකිරීමට අදහස් කරන ලද්දේ බළන්ගොඩ ඓතිහාසික වීම පිළිබද පුර්ව විමර්ශනයක යෙදීමටය . මා මුලින්ම සදහන් කළ මැටි භාවිතය ප්‍රාග් කාලීන ජනතාවගේ දෛනික කාර්යාවලියට අතිශයින් සම්බන්ධ ද්‍රව්‍යත්මක සාධකයක් ලෙස පැවති බව සෙලෙග්මන් නැමැති ඉතිහාසඥයා අවධාරණය කරයි. වර්ෂ කෝටි ප්‍රකෝටි ගණනක ඈත අතීතයේ සිට ම මැටි හා මඩ භාවිතයට හුරුව සිටි බවත් ඒවා ඝනීකරණය වීමේන් /මිනිස් හා සත්ත්ව සිරුරු සංකලනය වීමෙන් පාෂාණි භූත වී ඇති බවත්, එමගින් ඓතිහාසික සාධක රැසක විපරිණාමය සොයාගැනීමට අධාර වී ඇති බවත් දක්වයි.
මෑත ප්‍රාග් කාලීන ටයිග්‍රීස් -යුප්‍රයීස් දෙගංගාවන් හමුවන තැනින් ආරම්භ වු බැබිලන් ශිෂ්ටාචචාරය (බැබිලෝනියාව ) තුළද මැටි භාවිතය තදින් ඇබ්බැහි වී සිටි බවද මැටි තලප මත කූඤ්ඤාකාර (cunei From) අකුරු ලියු බව ද මැටි ගෙවල් තනා පදිංචිව සිටි බවද සදහන් වෙයි .

ලෝකයේ සෑම මනුෂ්‍ය ශිෂ්ටාචාරයක්ම බිහි වී ඇත්තේ ජලධාරා ආශ්‍රිතවය . ජලධාරා ආශ්‍රිතව වැඩුණු තෘණ හා සතුන් භක්ෂණයෙහි යෙදෙමින් විකාශනය වු ගොත්‍රින කණ්ඩායම් මිස, එකලා වූ මිනිසුන් වෙ‍සෙසක් දැකිය. නොහැකි යැයි මොරිස් වග්නර් වැනි පරිණාමවාදීහු විශ්වාස කරති. මෙසේ ජෛව විද්‍යත්මක මත පළ කළ ඔවුන්ගේ මුළික අභිප්‍රාය වුයේ , Homo Sanpiens හෙවත් බුද්ධිමත් මිනිසාගේ මානවෝදභවය පිළිබදව තතු විමර්ශනය කීරීමටය.

කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකු ව සිටි, ආචාර්යය පී.ඊ.පී දැරණියගල අහම්බෙන් කළ ගවේෂණයක ප්‍රතිඵලයක් ලෙස හෝමෝ සපියන්ස් බළන්ගොඩෙන්සිස් නැමැති ප්‍රාග් මානව ශිෂ්ටාචාරයක නටබුන් අපටද දායාද කොට දුන්නා පමණක් ලෝක මනෝද්භවයෙහි බළන්ගොඩ මානවයාට සුවිශේෂ සංධිස්ථාන‍යක් හිමිකරද දුන්නේය.
බළන්ගොඩ ඓතිහාසිකත්වය පිරික්සිමේදී යුග 03කට බෙදා දැක්විය හැකිය.
1) ප්‍රාග් පුරාතන =හෝමෝ සපියන්ස් බළන්ගොඩෙන්සිස් නැමැති මානව සමය
2) ප්‍රාග් මධ්‍යතන යුගය =රාම රාවණ සංග්‍රාමය සමය
3) ප්‍රාග් නුතන යුගය =සෙංකඩගල (මහනුවර) රාජ්‍ය සමය (ක්‍රි.ව.1592-1797)

පුරා අවුරුදු ලක්ෂ 05කට පෙරාතුව පැවති පාෂාණ කොටස් පිරික්සීමේදී ආචාර්යය දැරණියගල බළන්ගොඩ කල්තොට, බෙල්ලන්බැදිපැලැස්සහි උඩුපියන් ගල් ලෙන ආශ්‍රිතව හමු වූ මිනිස් හා සතුන්ගේ ඇට කැබැල්වලින් ගල් වලින් තනා ගත් ආයුධ හා වළන් කැබැලි රැසක් සොයා ගත හැකි විය . ඒ වුකලී ලෝක මානව ඉතිහාසය තවත් පියවරක් ඉදිරියට තැබීමය . පුරා අවුරුදු 10කට ආසන්න කාලයක් මේ සදහා වැය කීරීමට ඔහුට සිදු වී තිබුණි. මා 1966 වර්ෂයේ දී ලියා පලකළ බළන්ගොඩ යුගය ග්‍රන්ථ සැකසීමේදී ආචාර්යය දැරණියගල‍ගෙන් මට ලැබුණු සහය අමිලය. එකල ඔහු කොළඹ කෞතුකාගාර අධ්‍යක්ෂ ධුරය දැරීය. දැඩි අවිවේකයෙන් පසු වුවද හෝරා ගණනක් මා සමග ඔහු මේ සම්බන්ධයෙන් ලද අත්දැකීම් ඉමහත් අභිරුචියක් ඉදිරිපත් කළේය. එම ග්‍රන්ථයෙහි පළ කල සියලුම ඡායාරූප හා චිත්‍ර දැරණියගල මහතා විසින් මා වෙත පරිත්‍යාග කරමින් මාගෙ ව්‍යා‍යාමයට සුභාසිංසනය කිරීමටද අමතක නොකරන ලද්දේය. ආචාර්යය දැරණියගලට මෙම ගවේෂණය නිසා විශ්ව පරිනාමවාදීන්ගේ අතිමහත් ප්‍රශංසත්මක ගෞරවය ලබා ගැනීමට ඉතා පහසු විය. ඇටකටු වල පිහිටීම හා ස්වභාවය අනුව එම සතුන්ගේ ජීවමාන ස්වරුපය සිතුවමට නැගීය. ඒ අනුව

1) හෝමෝ සේපියන්ස් බළන්ගොඩෙන්සිස් මානවයාගේ ඇටසැකිළි
2) හෙක්ස ප්‍රොටේඩොන් සිංහලෙයුස් නැමැති ලංකා හිපපොටේමස්ගේ ඇටසැකිළි
3) බිබෝස් සිංහලෙයුස් නැමැති ලංකා ගවරාගේ ඇට කැබලි
4) ඇලිපාස් මැක්සිමුස් සිංහලෙයුස් නැමැති ලංකා අලියාගේ ඇට කැබලි හා දත් ‍

මෙම පාෂාණිභුත කොටස් වලින් වැදගත් නිගමන රැසකට පැමීණිමට දැරණියගල මහතාට හැකිවිය.
1) උපරිම ප්ලයිස්ටෝසීන යුගය
2) මධ්‍යතන ප්ලයිස්ටෝසීන යුගය

බළන්ගොඩ මානවයා සම්බන්ධ නෂ්ටාවශේෂ අයත් වනුයේ මෙම දෙවැනි අවස්ථාවටය. කුරුවිට බටදොඹේ ලෙනෙන් හා රාවණ ඇල්ලේ ගල් ගෙයක් තුලින් ලබාගත් විවිධාකාර ගල් හා ඇට කැබලි වලින් තැනූ අනේක විද මෙවලම් වලින් බුද්ධිමත් මානවයකුගේ ගති ලක්ෂණ පිළිඹිබු වී ඇති බව අනුමාන කොට දක්වා ඇත.
මෑතකදි කළුතර දිස්ත්‍රික්කයේ පාහියන් ලෙනෙන් සොයාගත් නටබුන්, ආදි මානවයාගේ චර්යයා ලක්ෂණ පිළිබදව කිසියම් අවබෝධයක් ලබා ගැනීමට වඩා ආදිකාලීන -ආදිවාසීන්ගේ උරුමයන් කියාපාන්නක් බව පිළිගෙන ඇත. විශ්වගත ප්‍රාග් මානවයා‍ගේ ඇටසැකිලි ‍ජෛව විද්‍යාත්මකව කළ පරික්ෂණ වලදී

1) මොන්ගොලොයිඩ්
2) යුරෝපියෝඩ්
3) නිග්‍රොයිඩ්
4) ඕස්ට්‍රොලොයිඩ්
යැයි චතුර්විධ මානව ලක්ෂණ හෙලිදරව් කොට ගෙන ඇත ‍. හෝමෝ සේපියන්ස් බළන්ගොඩෙන්සිස් මානවයා මේ අතුරින් හුදු නීග්‍රොයිඩ් ශාරීරික ලක්ෂණ වලින් සමන්විත වී ඇතැයිද, පුර්වෝක්ත චතුර්විෂ අංග ලක්ෂණ සංකලනයක් ද මේ මානවයන් තුලින් දැකිය හැකියැයි ද, එමගින් ඓන්ද්‍රීය විපරිනාමයකට ඔවුන් භාජනය වී ඇති බවද ජර්මන් ජාතික ඔටෝ ක්ලයින් ෂ්මිට් අනුමාන කරයි . මෙම අන්තර් මානව ලක්ෂණ චාල්ස් ඩාවින් ඉදිරිපත් කළ මිනිස් සංහතියේ පුර්වජයා ලෙස දක්වන වානරයාගේ ශාරීරික ලක්ෂණ එහෙන් පිටින්ම උකහා ගැනීමක් ලෙසද කල්යින් ෂ්මිට් විශ්වාස කරයි. බළන්ගොඩ මානවයා තුළ පුර්වෝක්ත නීග්‍රොයිඩ් පුර්වජ මානව ලක්ෂණ ඇතිබව නාසයේ සිට උඩු තල්ල දක්වා ඇති දුරින් හා නළල් තලය ,හකුපාඩා සහ අත්පා ඇගිලි වලින් මැනගත හැකි පොදු සාධක ඉදිරිපත් වී ඇතිබව දැරණියගල මහතා තහවුරු කොට ඇත.

ගංගාධාර ආශ්‍රිතව ප්‍රාග් මානව ශිෂ්ටාචාරයේ ආරම්භය හා විකාශනය සිදු වී ඇති බව මුලින්ද සදහන් කළෙමි. කළු ,වලවේ හා කැළණි යන ත්‍රිවිධ ගංගාධාරාවන්ගෙන් පෝෂණය වී ඇති සපරගමුව “වැදිගම” යන අර්ථවත් සබරගම් යනුවෙන් ව්‍යවහාරප්‍රාප්ත වී තිබීම හාස්‍යෝත්පාදකය. සැපයාර් (sapphire)යනු ඉංග්‍රීසියෙන් මැණික් වලට යෙදෙන්නකි . නැගෙනහිර ආසියාවේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණි මුස්ලිම් වෙලදුන් “සපර්!සපර්!” යැයි මැණික් සොයමින් රත්නපුර දිසාවට පැමිණි බවත්ඒ නිසාම “මැණික්ගමුව” අරුතැති සපරගමුව යන නාමය ව්‍යවහාරප්‍රාප්ත වී ඇති බව පෙනේ. ඓතිහාසික සාධක අනුව සබරගමුව අත්තේ, ඌව පළාතේ මහියංගනයට යාබදවය. එහි සොරබොර නම් වැවකුදු ඇත. “වැදි” වාචී ශබර ශබ්දයෙන්
“සබර” වී එය (ශබර >ශර්බර්>සබර >සොරබොර) සොරබොර යැයි පද නිෂ්පත්තිය වී ඇත. පාලි/ ව්‍යාධ ශබ්දයෙන් වැදි යැයි බිදී එන අතර විජයාගමනයෙන් කලකට පසු කුවේණියගේ දෙදරුවන් වන ජීවහත්ත හා දිසාලා (වනවැදිමෙන්) ඇරඹි ග්‍රෝත්‍රය (වන වැදි)වැදි යැයි ව්‍යවහාරගත වු බවත් ඇතැමෙක් සලකති. මේ අනුව සපරගමුව මිස සබරගමුව හෙවත් වැදිගමුව ඌව පළාතට අයත් ප්‍රදේශයක් බව සනාථ වෙයි.

බළන්ගොඩ යන්නද වළන්ගොඩ යන්නෙන් බිදී ආ බවට ප්‍රධාන සාධකය වන්නෙ”මැටි” සංස්කෘතික ප්‍රාග් මානවයාගෙන් අපට උරුම වී ඇති නිසාය. “ව”කාරයට “බ”කාරය වීම ඉන්දු ආර්ය භාෂා ලක්ෂණයකි. වකො යථා බකො යථා(කොක්කු වැනි)විසි=බිසි(විස්ස)යන පද නිරුක්ති විමසා බැලීමෙන් අවබෝධ වනු ඇත. ප්‍රාග් මානව යුගයේ මැටි භාවිතයෙන් වළන් තනාගත් බවත් ඒවා දිය රැස් කොට ගැනීමට හෝ ආහාර පිසගැනීමට හෝ පමණක් නොව කෙනෙකු මිය ගිය පසු වළදක බහා භූමිදානය කොට ඇති බවද ආචාර්ය දැරණියගල නිදසුන් මගින් සනාථ කොට ඇත. වළවේ ගංගාධාරය ආශ්‍රිතව මැටි කර්මාන්තය ඉතා බහුලව පවත්වාගෙන යාමට ඔවුන් සමත් වී ඇති බව පෙනෙයි.

විමලධර්මසුරිය රජු දවස “සෙබළුන් ගොඩක්”=(භටයන් ගොඩක්)විස්මය ජනක අයුරින් දැක කෑගැසු බවද එතන් පටන් ඒ ප්‍රදේශය සෙබළුන්ගොඩවී පසුව එහි”සෙ”කාරය ලොප් වී “ලු”යන්නෙහි”උ”ස්වරය වෙනුවට “අ” ස්වරය ආදේශ වී බලන්ගොඩ =බළන්ගොඩ වී ඇතැයි ද මතයකි. අපවත් වදාළ බළන්ගොඩ අනද මෙත් මාහිමියන් මෙම වචනය සකු බසට නගා ඇත්තේ භටස්තල යනුවෙනි. කිසියම් වස්තුවක හෝ කාරණයක හෝ‍ ඓතාහාසිකත්වය හා පෞරාණීකත්වය සමාලෝචනය කිරීමේදී(1)කාල(2)පුද්ගල (3)ස්ථාන (4)ව්‍යවහාර යන චතුර්විධ සාධකයන් අත්‍යවශ්‍යමය. මේ අනුව විශ්ලේෂණයේදී වඩාත් අර්ථවත් නිරුපණය ලෙස වළන්ගොඩ යන්නේන් බළන්ගොඩ යන වචනය භින්න වී ඇති බව පිළිගත හැකිය. සමනල ජල යෝජනා ක්‍රමය යටතේ මීටර 100ගණනක් පොළොව කැනීමේදී හමු වී ඇති පැරණි වළන් කැබලිවලින් “වළං තැනීමේ” කර්මාන්තයෙහි යෙදුනු ගම්පියසේ කුඹල්ගම-කුඹල්වෙල-කුඹල්මුල්ල නමින් මෙයට නොදුරුවම පිහිටා තිබීමෙන් සනාථ වෙයි.

රාම-රාවණ සංග්‍රාමය සිහිපත් කරවන රාස්සගල-සීතාගල යන යෙදුම් වලින් හා ප්‍රාග් මධ්‍යතනයේ පශ්චාත්කාලීන සමය වු තථාගතාගමනයට සම්බන්ධව බුදුගල-දාමහණ/බෙලිගල යන නම් පිළිබදවද විමර්ශන බුද්ධිය මෙහෙයවීම ඉතා වැඩදායික වෙනු ඇත. මේ අනුව පුරා අවුරුදු ලක්ෂ 05කට ආසන්න ප්‍රාග් මානව ශිෂ්ටාචාරයකට(බළන්ගොඩ බුද්ධිමත් මිනිසාට)හිමිකම්-නෑකම් කියන ප්‍රාග් මධ්‍යතන යුගයට අයත් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික නෂ්ටාවශේෂයන්ගෙන් ගහණ සදාතනික වශයෙන් ඇගයිය හැකි භූමි ප්‍රදේශයක් ලෙස”බළන්ගොඩ”හැදින්වීම වඩාත් උචිතය.‍

බළන්ගො‍ඩ නන්ද හිමි

(මෙම ලිපිය වර්ෂ 2000 දී බළන්ගොඩ නගර සභාව මගින් ප්‍රකාශයට පත් කල මහිමය සගරාවෙන් උපුටා ගන්නා ලදී.)

බළන්ගොඩ ආශ්‍රිත ගම් වලට නම් සෑදුනු අයුරු (5 කොටස)

මුත්තෙට්ටුවේගම
බළන්ගොඩ අලුත්නුවර දේවාලයේ සිට සොරගුණේ දේවාලය දක්වා අප්‍රධාන මාර්ගයක් ඇත. (අදද මෙම මාර්ගය අඩිපාරක් ලෙස පවතී) මෙකි මාර්ගයේ ගමන් කල දේවාල කාර්යය මණ්ඩල සදහා ආහාර සැපයු ගම මුත්තෙට්ටුවේගම ලෙස නම් ලැබී ඇත. කුඹුර වෙත ආහාර ගෙන යාම මුත්තෙට්ටුව ගෙන යාම ලෙස අදද මෙම ප්‍රදේශ වල භාවිතා කරයි.

ගලගම
ගැල් ප්‍රවාහන ක්‍රමය භාවිතා කල කාලයේ හපුතලේ කන්ද තරණය කිරීමට පෙර ගැල් විවේක ගෙන නැවත ගමන් ආරම්භ කිරීම සිරිතක්ව ඇත. මෙසේ විවේක ගෙන ඇත්තේ අද ගලගම යනුවෙන් හඳුන්වන ගම්මානයේය.ගැල් විශාල ප්‍රමාණයක් මෙහි නිරන්තරයෙන් පැවතීම නිසා මෙම ගමට ගැල්ගම යනුවෙන් කියා ඇති අතර වර්ථමානයේ එය ගලගම යනුවෙන් ව්‍යවහාර කෙරේ.

පඹහින්න
පෘතුගීසින් සමගින් යුධ පැවති සමයේ මෙම පෙදෙසට පහරදීමට පෘතුගීසින් පැමිණ ඇත. ඒ අවස්ථාවේ සිංහල සේනාව පෘතුගීසින් ගේ සේනාව තරම් විශාල නොවීය. එබැවින් සිංහල භටයන් ලෙස සකස් කල පඹයින්, සිංහල භටයින් සමඟ කන්ද උඩ තබා ඇත. මෙය දුටු පෘතුගීසින් පරදීම නොකොට ආපසු ගොස් ඇතැයි පැවසේ. අදද මෙම ප්‍රදේශයේ පරංගි කොටුව, පරංගි වල ආදි ස්ථාන පවතී. “හින්න“ යනු කන්ද යන අර්ථය ගෙනේ. පඹයින් සිටි කන්ද පඹහින්න ලෙස නම් ලැබී ඇත.

බෙලිහුල්ඔය
මෙහි නම ලැබීම පිළිබද මත 02 කි. බෙලිහුල්ඔය ආරම්භ වන්නේ බෙලිගෙඩියක් තරම් උල්පතකින් නිසා බෙලිහුල්ඔය ලෙස නම් ලැබිනි. අනෙක් මතයෙන් පැවසෙන්නේ මෙම ඔය ආරම්භ වන්නේ බෙලිගස් වලින් සැදුම් ලත් පෙදෙස වු උල්පත් වලින් බවයි.

කුඹල්ගම
පෙර රජකල වලං, හටිටි ආදී මැටි භාණ්ඩ නිෂ්පාදනය කල ගමකි. එබැවින් කුඹල් රැකියාව කල අය සිටි ගම කුඹල්ගම විය.

බළන්ගොඩ ආශ්‍රිත ගම් වලට නම් සෑදුනු අයුරු (4 කොටස)

වෙළගේ ගම්මානය
බළන්ගොඩ සිට වැලිගෙපොල මාර්ගයේ කි.මි.7 ක් පමණ ගිය විට හමුවන ගල්ගොඩ හන්දියෙන් හැරී මාවෙල – වෙළගේ මාර්ගයේ කි.මි. 5 ක් පමණ ගියවිට වෙළගේ සුන්දර ගම්මානය හමුවේ. පත්තිනි දෙවියන් සඳහා සිදුකරනු ලබන ක්‍රීඩාවක් වන අංකෙලිය හෙවත් අඟ ඇදීම සිදු කරන ලද වෙල්යායක් පැවතීම නිසා ‍මෙම ගමට මෙම නාමය ලැබී ඇත.

බොල්තුඹේ දේවාලය
මෙය ප්‍රකට මහත් අනුහස් ඇති සමන් දේවාලයකි. බළන්ගොඩ පින්නවල හරහා හැටන් මාර්ගයෙන් හැරී කි.මි. 5 ක් පමණ ගිය විට බොල්තුඹේ දේවාලයට පිවිසිය හැකිය. මෙම දේවාලයට අයත් කුඹුරුවල බොල් වී හමුවී ඇත්තේ අතක් මිටිකරගත් ප්‍රමාණයක් පමණි. එනම් තිඹක් පමණි. බොල් වී තිඹක් පමණක් හමුවු වෙල්යාය අයත් දේවාලය බොල්තුඹේ දේවාලය ලෙස ප්‍රකට විය.

පලුගහමුල කොරටුව ගම්මානය
අති සුවිශාල පලු ගසක් පැවැති බැවින් මෙම නම සෑදී ඇත. මෙම පලු ගස මේ වන තෙක්ද මෙහි දක්නට ඇත.

මොරවුල ගම්මානය
පෙර රජ සමයේ දෙන දණ්ඩනයන් අතර උලතැබීම ප්‍රකටය. මොරවුල ගම්මානය ප්‍රදේශයේ මිනිසුන් උල තබන ස්ථානයක් තිබී ඇති අතර ඒ සදහා යොදා ගෙන ඇත්තේ මොරගසකින් සකස් කර ගත් උලකි. එබැවින් මෙම ගම්මානයට මොරවුල ගම්මානය යන නම ලැබී ඇත.

වදවුල ගම්මානය
මොලමුරේ ගමත්, ගෝනගල, කූරගල ආදී කඳු වැටි වලට යාබදව මෙම ගම්මානය පිහිටා ඇත. මෙම ගම්මානයේ මිනිසුන්ට උලතබා වද දෙන ලද ස්ථානයක් පැවැති බැවින් වදවුල ලෙස නම් ලැබී ඇත.

ගොරකාවුල ගම්මානය
ගොරකා උලක් භාවිතයෙන් මිනිසුන් උල තැබූ ස්ථානක් මෙම ගම ආශ්‍රීත ප්‍රදේශයේ පැවත ඇත.

තංජන්තැන්න ගම්මානය
බළන්ගොඩ කල්තොට මාර්ගයේ ගමන් කර තංජන්තැන්නට පිවිසිය හැකිය. මුලින් මෙම ප්‍රදේශයේ ජනතාව ජීවත් වුයේ තංජම යන කඳුකර ප්‍රදේශයේය. පසුකාලීනව බළන්ගොඩ සිට කල්තොට වෙත නව මාර්ගයක් ඉද්දගල වැව අසලින් නිර්මාණය වු බැවින් ජනතාව ඉද්දගල වැව අසල තැන්න වෙත සංක්‍රමණය විය. තංජම ආශ්‍රිත ප්‍රදේශය පෙර සිටි මහා වීර නම් ගම් ප්‍රධානියා යුධ කාලයේ සංඥා යැවීම සඳහා භාවිතා කල බව පැවසේ. මුලින්ම සංඥම යන නම භාවිතා වුවත් පසුව එය තංජම ලෙසින් ව්‍යාවහාර විය. පසුව ජනතාව ඉද්දගල වැව අසලට පැමිණි පසු තංජන්තැන්න වී වර්ථමානයේ තැන්න ලෙසද ව්‍යවහාර වේ. ඉද්දගල වැව පිහිටා ඇත්තේ කිරිඔරුවහෙල කන්ද පාමුලය. කිරි ඔරුවකන්දේ සිට නමුනුකුල කන්ද වෙත එක එල්ලේ ආලෝක සංඥා යැවීම
වර්තමානයේදී ද ප්‍රායෝගික සිදුකර බැලිය හැකිය.

මුල්ගම ගම්මානය
මහාවීර නම් අමාත්‍යවරයාට අයත් ගමක් වන මෙහි අදද වලව් හා වලව් පවුල් වලින් පැවත එන පිරිස් සිටී. එබැවින් මුල්ම ගම යන අර්ථය දෙන මුල්ගම නම සෑදී ඇත.

බටුගම්මන ගම්මානය
යුධ සමයන්හී හමුදා භටයන් රදවා තැබු ගමක් ලෙස සැලකේ. එබැවින් භටයන් වාසය කල ගම්මානය බටුගම්මන ලෙස පසුව ව්‍යවහාර විය.

බළන්ගොඩ පින්නවල එළුගාල පුරාණ ටැම්පිට විහාරය

සබරගමු පලාතේ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කණතිරියන්වෙල ග්‍රාමසේවා වසමේ පිහිටි එළුගාල පුරාණ ටැම්පිට විහාරය ( ශ්‍රී පුෂ්පාරාම පුරාණ රජමහාවිහාරය ) ශ්‍රී ලංකාවේ ඇති ටැම්පිට විහාර අතර වැදගත් තැනක් උසුලයි. මේ විහාරය වෙත පිවිසීම උදෙසා බලන්ගොඩ සිට හැටන් මාර්ගයේ ‍පින්නවල සතිපොල අසලින් වම් පස මිනුවම් අරාව මාර්ගය ඔස්සේ කි.මී.01 ක් පමණ දුර ගමන් කල යුතුය. මෙම ටැම්පිට විහාරය අතීතයේදී බොල්තුඹේ සමන් දේවාලයේ පිරිත් නිලය භාර විහාරස්ථානයයි. ටැම්පිට විහාර කාලීනව පැවත ගෙන විත් සීතාවක රාජසිංහ රජ සමයේ ගොඩනැගී මයාදුන්නේ නරේන්ද්‍රයන්ගේ මහනුවර යුගයට ප්‍රවිශ්ඨව කන්ද උඩරට රාජ්‍ය විචාරනය ලද සියලුම රජවරුන්ගේ ඇල්ම බැල්ම ඇතුව පැවත ආ බව විශ්වාස කළ හැකිය. වලගම්බා රජුගේ යම් අනුග්‍රයක් මෙම විහාරස්ථානය ලැබුනු බව තවත් මතයක් ඇත. මෙම විහරස්ථානය පිළිබද ඔබට තවත් තොරතුරු ලබා ගැනීම සදහා විහාරධිපති පුජ්‍ය පින්නවල උපශාන්ත හිමියන් 045-3461568 / 075-6185776 මගින් අමතන්න.

බළන්ගොඩ ආශ්‍රිත ගම් වලට නම් සෑදුනු අයුරු (3 කොටස)

ඕපනායක
රත්නපුර බළන්ගොඩ මාර්ගයේ හමුවන ගම්මානයකි. මෙයට මෙම නව ලැබී ඇත්තේ පෙර රජකල මෙහි යුවරජ කෙනෙක් / උප නායක කෙනෙක් ජීවත් වී ඇත. ඒ බැවින් උප නායක යන්න ඕපනායක ලෙස නම් ලැබී ඇතිබව පැවසේ. තවද ඕපනායක විද්‍යාලය ඉදිරියේ ඇති හිරගේවත්ත ප්‍රදේශය පැරණි කල සිර ගෙයක් තිබෙන්නට ඇතැයි ‍සැලකේ. මෙම සිරගෙදර නිසාද උපනරකය(නරක ප්‍රදේශය) යන නමින් ඕපනායක යන්න සැදුනු බව තවත් මතයකි.

උපවෙල, මාවෙල
මෙම ප්‍රදේශ වල ඇති සුවිශාල වෙල්යාය පිහිටීම නිසා මෙම නම් ලැබී ඇත. අදද මෙම ප්‍ර‍දේශ වල සුවිශාල වෙල් යායන් දක්නට ඇත.

පැලදකන්ද
ඕපනායක, උඩවෙල ප්‍රදේශයට ආසන්නයේ ඇති කදුකර ප්‍රදේශයකි. රාවණා රජු සීතා දේවීය පැහැ‍ර ගෙන විත් ඕපනායක ඇදිරිලෙනේ (මෙම ලෙන සුවිශාල කාමර සහිත ලෙන් සංකීර්ණයකි. මෙම ලෙන් සංකීර්ණය පිළිබද විස්තර සහිත ජායාරූප ඉදිරියේදී ඔබවෙත ගෙන එන්නෙමු) සිරකර තබා පසුව පසුව සීතා දේවීයට ආභරණ පැලැන්දූ ප්‍රදේශය පැලදකන්ද නම් වන බව පැවසේ.

හොරන්කදුර
ඕපනායක, උඩවෙල ප්‍රදේශයට ආසන්නයේ ඇති ගම්මානයකි. මෙම ‍ගම්මානයේ ඇති විශේෂත්වයක් වන්නේ මාන්දම් වෙද්දු, කැඩුම් බිදුම් වෙද්දු, සර්වාංග වෙද්දු, සර්ප වෙද්දු, කටිටඩියන් යන පවුල් රැසක් මෙහි ජීවත් වීමයි. ඔවුන් මෙහි පැමිණීමට හේතුව හා මෙම ගම්මානයේ නම අතර විශේෂ සම්බන්ධතාවයක් ඇති බැව් පැවසේ. අතීතයේ මෙම ප්‍රදේශය සාමාන්‍ය සමාජයෙන් පරිභාහිරව වෙන්වී ජීවත්ව වන පිරිසක් සිට ඇත. ඔවුන්‍ සොරුන් බව පැවසේ. ඔවුනට අසනීප සෑදුනු විට සාමාන්‍ය සමාජය‍ට පැමිණ බෙහෙත් ගැනීමට නොහැකි නිසා වෛද්‍යවරුන් හා ඔවුන් විවාහ වී සිටියේ නම් පවුලේ අයත් සමග ඇස් බැද පැහැර ගෙන වේ ගගෙන් එපිටට ගෙන ගොස් හොරන්කදුර ප්‍රදේශයේ බ‍ලෙන් පදිංචි කරවා ඇති බවයි. එසේ ගෙන ගොස් ඇති වෙදුන් හට කිසි‍දිනක සාමාන්‍ය සමාජය‍ට ඒමට අවස්ථාව නොදී එහිම පදිංචි කර‍ ගෙන ඇත්තේ සොරුන්ගේ රහස් හෙළිවේ යැයි බියෙනි. මෙම ගම්මානයේ සොරුන්ගේ කදවුරක් පැවතීම නිසා ‍හොරන්කදුර ලෙස නම් ලැබී ඇතැයි පැවසේ. මේ පිළිබද වු තවත් මතයක් පවසන්නේ හොර ගස් රැසක් සහිත දිය කදුරක් පැවතීම නිසා මෙම නම ලැබුණු බවයි.